ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියකට නිදහස



ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියක නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන තිබේ.

ඊශ්‍රායල හමුදා, දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙමින් සිටී. ඒ, හමාස් ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සොයමිනි. මෙම සෙබළිය නිදහස් කිරීමට සටන්කාමීන් පියවරගෙන ඇත්තේ ද ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙද්දීය.

හමාස් සටන්කාමීන්, පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී කාන්තාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන්, හමුදා සෙබළුන් ඇතුළු 230 කට වැඩි පිරිසක් අල්ලාගෙන ගාසා තීරයට රැගෙන ආවේය. ඒ, ප්‍රාණඇපකරුවන් ලෙසය. නිදහස ලැබුවේ එසේ ප්‍රාණ ඇපයේ සිටි සෙබළියකි. නිදහස ලැබුවේ ඕරි මෙගිඩිෂ් නමැති සෙබළියයි.

‘අප ඇය වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළා. ඇය යහතින් ඉන්නවා. දැන් ඇය ඇගේ පවුලේ අය සමඟ ඉන්නවා.’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය, මෙගිඩිෂ් ඇලේ පවුලේ අය සමඟ සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත ලබා දෙමින් පැහැදිලි කර තිබේ.

මේ අතර, හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නෙදන්යාහු අවධාරණය කර තිබේ.

කිසිදු කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවන් සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බව ද  නෙදන්යාහු වැඩි දුරටත් පෙන්වා දී ඇත. හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 33 දෙනකු කුඩා දරුවන් බව ද වාර්තා වේ.

ඊශ්‍රායලයේ මොසාඞ් බුද්ධි අංශ ප්‍රධානී ඬේවිඞ් බානියා කටාර් රාජ්‍යයට ගොස්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල වැසියන් මුදා ගැනීම සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඊශ්‍රායල හමාස් ගැටුමට, කටාර් රාජ්‍යය මැදිහත් වී සිටින්නේ සාමකාමී විසඳුමක් ලබා දීමේ අරමුණින්ය. පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට පහර දුන් හමාස් සටන්කාමීන් පැහැරගත් ඊශ්‍රායල වැසියන් ගණන 200 කට වැඩිය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS