නෙදන්යාහු මැතිවරණය ජයගනී



ඊශ්‍රායල මහ මැතිවරණය ජය ග්‍රහණය කිරීමට එරට හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ ඔහුගේ දක්ෂිණාංශික දේශපාලන සන්ධානය සමත් විය.

තියුණු සටනකින් පසු, නෙදන්යාහු ප්‍රමුඛ ඔහුගේ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවුණු බව ද පැවැසෙයි. ඒ අනුව කිසිදු බාධාවකින් තොරව ස්ථාවර රජයක් පිහිටුවීමට නෙදන්යාහුට හැකිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාව ආසන 120 කින් සමන්විතය. බහුතර බලය සඳහා ආසන 60 කට වඩා දිනා ගැනීම කළ යුතු විය.

මැතිවරණයක් පැවැත්වෙන තුරු භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ කටයුතු කළේ යාර් ලුපිද් ය. යාර් ලුපිද් මධ්‍යස්ථ මතධාරී ‘යෙෂ් අතිද්’ දේශපාලන කණ්ඩායමට නායකත්වය දෙයි.

යාර් ලුපිද් සහ ‘යෙෂ් අතිද්’ දේශපාලන කණ්ඩායමට සහාය දක්වන මධ්‍යස්ථමතධාරීන් දෙවැනි ස්ථානයට පත් විය.
ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත්තේ ද නෙදන්යාහුය. ඔහුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වෙයි. කෙසේ නමුත්, නෙදන්යාහු තරයේ පවසන්නේ තමන් කිසිදු වරදක් කර නොමැති බවය.

ඊශ්‍රායල මහ මැතිවරණය ඊයේ (1) පැවැත්විණි. වසර තුනහමාරක් ඇතුළත එරට පැවැත්වුණු පස්වැනි පාර්ලිමේන්තු මැතිවරණය මෙය විය. ප්‍රතිඵල නිකුත් වීම අද (2) උදෑසන සිට සිදුවිය.

ඊශ්‍රායලයට වසර තුනහාමාරක් ඇතුළත පස් වරක් මර මැතිවරණ පැවැත්වීමට සිදුවූයේ කිසිදු පක්ෂයකට බහුතරය හිමි නොවීම සහ පිහිටුවා ගත් සන්ධාන රජයයන් මත ගැටුම් හේතුවෙන් බිඳ වැටීම සිදුවුණු බැවිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS