නන් දෙසින් සුබ පැතුම්



යළි ජනවරමක් හිමි කර ගැනීමට සමත් වුණු එර්දොවාන්ට ලෝක නායකයන් රැසකගෙන් සුබ පැතුම් ලැබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්, එර්දොවාන්ට සුබ පතමින් කියා සිටියේ තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සබඳතා තව තවත් ශක්තිමත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සුබ පැතුම් එක් කළහ. තුර්කිය සහ ඇමෙරිකාව අතර පවතින මිතුදම් තවත් වර්ධනය වනු ඇති බව ජනාධිපති බයිඩන් පෙන්වා දුන්නේය. තුර්කිය වැදගත් ‘නේටෝ’ සාමාජිකයකු බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් පැහැදිලි කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනපති එර්දොවාන්ට සුබ පතමින් කියා සිටියේ ඉන්දියාවත් තුර්කියත් අතර පවතින දිගු කාලීන මිතුදම් තව තවත් ශක්තිමත් වනු ඇති බවය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, යුරෝපා සංගමයේ සභාපති චාල්ස් මයිකල් මෙන්ම යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර්ලින් ද එර්දොවාන්ට සුබ පතමින් ට්විටර් පණිවුඩ එක් කර තිබේ.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, එර්දොවාන්ට සුබ පතමින් පවසා ඇත්තේ එර්දොවාන් ජනහද හඳුනන නායකයකු බවය. යුක්රේක ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද එර්දොවාන්ට සුබ පැතීමට අමතක නොකළේය. රුසියන් යුක්රේන යුද ගැටුම් මැද යුක්රේනය නැව් මගින් ඔවුන්ගේ ධාන්‍ය අපනයනය සිදු කරන්නේ තුර්කියේ මැදිහත් වීමෙනි. කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ද එර්දොවාන්ට සුබ පැතුම් එක් කළේය. ඒ, ටිවිටර් පණිවුඩයකිනි.

සෞදියේ සල්මාන් රජු ද එර්දොවාන්ට සුබ පැතීමට අමතක නොකළේය. ඇල්ජීරියා ජනාධිපති, මෝල්ටා විදේශ ඇමැති, ඇෆ්ගක් තලේබාන් රජය, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, සර්බියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, සුඩාන හමුදා ජනරාල් අබ්දෙල් ෆාටා, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියේව්, පලස්තීන අග්‍රාමාත්‍ය මොහොම්මද් ෂට්යා කියා සිටියේ එර්දොවාන් ලැබූ ජය තුර්කි වැසියන් ලැබූ ජයග්‍රහණයක් බවය.

ඊශ්‍රායල ජනාධිපති අයිසෙක් හර්සොග් කියා සිටියේ තුර්කි ඊශ්‍රායල සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බවය. ලිබියා අග්‍රාමාත්‍යවරයාත්, හංගේරියාවේ අග්‍රාමාත්‍යවරයාත් යළි ජනවරමක් හිමිවුණු එර්දොවාන්ට සුබ පැතුම් එක් කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS