දේශගුණික විපර්යාස සමුළුව ඇරැඹේ



එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (කොප් 27) ඊජිප්තුවේ රතු මුහුද අසල පිහිටි ෂාම් එල් ෂෙයික් නුවර දී ආරම්භ විය. සමුළුව, ලබන 18 තෙක් පැවැත්වෙයි. මෙය 27 වැනි ‘කොප්’ සමුළුවය. ලෝක නායකයන්ථ රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන්, විද්වතුන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම සමුළුවට සහභාගී වීම සඳහා ෂාම් එල් ෂෙයික් නුවරට පැමිණ සිටිති.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සීමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ අරමුණ ඇතිව, වාර්ෂිකව, ‘කොප්’ සමුළුව පැවැත්වෙයි.

සමුළුව ආමන්ත්‍රණය කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පෙන්වා දුන්නේ 2015 වසරේ සිට පසුගිය වසර 8 ක කාලය පෘථිවියේ වැඩිම උෂ්ණත්ව වාර්තා වුණු බවත්, පෘථිවිය විනාශය අද්දරට පැමිණ ඇති බවත්ය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ‘අන්තර් රාජ්‍ය දේශගුණික විපර්යාස කමිටුව’ ලබා දී ඇති දත්ත පාදක කර ගනිමිනි. එක්සත් ජාතීන්ගේ දේශගුණ විද්‍යාඥයන් ලෙස කටයුතු කරන්නේ අන්තර් රාජ්‍ය දේශගුණික විපර්යාස කමිටුවය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යන්නේ තෙල්, ගෑස් සහ ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන දහනය කිරීමේ දී සිදුවන වායු විමෝචනය හේතුවෙනි.

‘අන්තර් රාජ්‍ය දේශගුණික විපර්යාස කමිටුව’ පෙන්වා දෙන අන්දමට, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.1 කින් ඉහළගොස් ඇති අතර, 1.5 දක්වා තවදුරටත් ඉහළ යමින් පවතී. 1850 වසරවල පැවැති මට්ටමට වඩා උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.7 සිට 1.8 දක්වා ඉහළ ගියහොත්, ලොව ජනගහනයෙන් අඩක් අනතුරේ වැටෙන බව ‘අන්තර් රාජ්‍ය දේශගුණික විපර්යාස කමිටුව’ බිය පළ කර තිබේ.

ගෝලීය උණුසුම අවම කර ගැනීමේ අරමුණ ඇතිව, රටවල් 194 ක් 2015 දී පැරිස් ගිවිසුමට අත්සන් තබා ඇති අතර, එම පැරිස් ගිවිසුම අනුව කටයුතු කළ යුතු බව ජගත් මහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට කටයුතු කිරීමට ද පොරොන්දු විය.

මෙවර ‘කොප් 27’ සමුළුවේදී පද්‍ධාන වශයෙන් සාකච්ඡා කෙරෙන්නේ වායු විමෝචනය අවම කිරීම, දේශගුණික විපර්යාස සඳහා සූදානම් මවීට සෙසු රටවලට ආධාර උපකාර කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවලට මුල්‍ය ආධාර සහ තාක්ෂණික සහාය ලබා දීම ආදියයි.

සමුළුවට සහභාගී වන්නැයි ප්‍රබල ලෝක නායකයන්ට ඇරැයුම් කර ඇති නමුත්, ඔවුන් සමුළුවට සහභාගී නොවනු ඇති බව පැවැසෙයි. යුක්රේන අර්බුදය හේතුවෙන් රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් සමුළුවට සහභාගී නොවන බව පවසා ඇත. චීන ජනාධිපති ෂී ජින්පින් ද සමුළුවට සහභාගී නොවන බව කල් තියා දැනුම් දී ඇත.

දේශපාලනික මත ගැටුම් පසෙකලා සමුළුවට සහභාගී වී, ගෝලීය උණුසුම අවම කර ගැනීමට උත්සාහ ගන්නැයි සමුළුව පවත්වන සත්කාරක රට ලෙස ඊජිප්තුව ලෝක නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

ඊජිප්තුව, අප්‍රිකා මහද්වීපයට අයත් රාජ්‍යයක් වන අතර, දේශගුණික විපර්යාස පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සමුළුව හෙවත් ‘කොප්’ සමුළුවක් අප්‍රිකා මහද්වීපයේ රටක පැවැත්වෙන පස්වැනි අවස්ථාව වන්නේ මෙයයි. මේ වනවිට ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් අප්‍රිකාව දැඩි නියං කාලගුණයකින් බැටකයි නැගෙනහිර අප්‍රිකාවේ මිලියන 17 ක ජනතාවක් ආහාර හිඟය හේතුවෙන් පීඩාවට පත් වී සිටී.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS