තුර්කි හමුදාව දිගට හරහට කුර්දි ත්‍රස්තයන්ට පහර දෙයි



තුර්කියේ අනාකාරා අගනුවර, අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු උතුරුදිග ඉරාකයේ කුර්දි බෙදුම්වාදී ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් තුර්කි ගුවන් හමුදාව දිගට හරහට පහර දුන්නේය.

තුර්කි ගුවන් හමුදාව පැවැසුවේ, කුර්දි බෙදුම්වාදීන්ගේ ඉලක්ක 20 කට ප්‍රහාර එල්ල කළ බවය. කුර්දි බෙදුම්වාදීන් ලෙස සැලකෙන්නේ පී.කේ.කේ. හෙවත් කුර්දිස්තාන් කම්කරු පක්ෂයේ අනුග්‍රහය ලබන සාමාජිකයන්ය. පී.කේ.කේ. දේශපාලන කණ්ඩායම ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති බැවින් එය තුර්කියේ තහනම්ය. යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව ද ත්‍රස්ත සංවිධානයක් ලෙස පී.කේ.කේ. දේශපාලන පක්ෂය සලකයි.

ඊයේ (1) අනාකාරා අගනුවර, අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදී පහර දීමට පැමිණියේ ද මරාගෙන මැරෙන කුර්දි බෙදුම්වාදී ත්‍රස්තයන් දෙදෙනකි.

ඔවුන් වෑන් රියකින් පැමිණ, අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ලට ඉදිරිපිට එය නවත්වා ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ ගත් නමුත් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ට හරස් විය. එහිදී ත්‍රස්තයන් දෙදෙනා කළ වෙඩි තැබීම්වලින් අමත්‍යාංශ ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලැබූහ. එක් නිලධාරියකුගේ පපුවට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. අනෙක් පොලිස් නිලධාරියා තුවාල ලැබුවේ පාදයකට සහ එක් ඇසකට වෙඩි ප්‍රහාරය එල්ල වීමෙනි.

ගේට්ටුව අසලදී එක් ත්‍රස්තවාදියකු සිය බෝම්බ කබාය පුපුරුවා ගත් අතර, අනෙක් බෝම්බකරුට වෙඩි තබා ඝාතනය කෙරුණි. තුර්කි පාර්ලිමේන්තුව ඇත්තේ ද අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශ ගොඩනැගිල්ල අසලය. වෙඩි වැදුණු පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල්ගත කළ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.


RECOMMEND POSTS