තුර්කි විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක්



තුර්කි ජනාධිපතිවරණය ලබන මැයි 14 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එරට විපක්ෂ දේශපාලන සන්ධානය පොදු අපේක්ෂකයා ලෙස  කෙමාල් කිලික්ඩරොන්ග්ලු නම් කර තිබේ.

74 හැවිරිදි කෙමාල් කිලික්ඩරොන්ග්ලු ‘තුර්කියේ ගාන්ධි’ ලෙස ද සැලකෙයි. විපක්ෂ සන්ධානය කිලික්ඩරොන්ග්ලු පොදු අපේත්ෂකයා ලෙස නම් කර ඇත්තේ තව දුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිීටීමට උත්සාහ ගන්නා වත්මන් ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට අභියෝග කිරීමටය.

විපක්ෂ සන්ධානයට නායකත්වය දෙන ප්‍රධාන දේශපාලන කණ්ඩායම වන්නේ මධ්‍ය වාමාංශික රිපබ්ලිකන් ජනතා පක්ෂයයි. මෙය තුර්කියේ පැරැණිතම දේශපාලන පක්ෂයකි. 1990 දශකයේ තුර්කියේ පාලක පක්ෂය වූයේ මධ්‍ය වාමාංශික රිපබ්ලිකන් ජනතා පක්ෂයයි.

තුර්කි විපක්ෂ දේශපාලන කණ්ඩායම් මේ අයුරින් සන්ධානය වී, පොදු අපේක්ෂකයකු හරහා මහ මැතිවරණකට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් 6 කින් විපක්ෂ සන්ධානය නිර්මාණය වී තිබේ.

තුර්කි මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි මාසයේය. තුර්කි ජනාධිපති ලෙස කටයුතු කරන රිජෙප් තායිප් එර්දොවාන් එම ධුරයේ කටයුතු කරන්නේ 2014 වසරේ සිටය.

එර්දොවාන් නියෝජනය කරන්නේ ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂයයි. විපක්ෂ සන්ධානය පවසා ඇත්තේ තමන් බලයට පත්වුවහොත් තුර්කි ජනාධිපති බලතල කප්පාදු කරන බවය.

මීට මාසයකට පෙර, පසුගිය පෙබරවාරි 6 වැනිදා තුර්කිය මෙන්ම සිරියාව ද ප්‍රබල භූමි කම්පාවකින් කැලඹිණි. මියගිය ගණන 55,000 පසු කළේය. මිලියන ගණනකට උන්හිටිතැන් අහිමි විය.

භූමි කම්පාව බාධාවක් නොකරගෙන තුර්කි මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය මැයි මාසයේ පැවැත්වෙන බව ජනාධිපති එර්දොවාන් පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS