තුර්කි ජනපති එර්දොවාන් රුසියන් ජනපති හමුවෙයි



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතර හමුවක් රුසියාවේ සෝචි නුවරදී පැවැත්විණි. මෙම හමුවට පාදක වූයේ රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන ඇති හමුදාමය ක්‍රියා මාර්ගයයි.

රුසියාන් හමුදා යුක්රේනයේ වරාය නගර රැසක් අත්පත් කරගෙන සිටී. එම නිසා යුක්රේනයට ඔවුන්ගේ ධාන්‍යය විදේශවලට විකිණීම ගැටලුවක් වී ඇත.

රුසියන් රජය සහ යුක්රේන රජය අතර සාකච්ඡා පවත්වා ධාන්‍ය ආපනයනය සඳහා නැව් මාර්ග විවෘත කර දෙන්නේ තුර්කි ජනාධිපති එර්දොවාන් මැදිහත් වෙමිනි.

සෝචි නුවරදී හමුවෙමින් පුටින් සහ එර්දොවාන් අතර සාකච්ඡා පැවැත්වූයේ මේ සම්බන්ධයෙනි.

මීට අමතරව, රුසියාවෙන් තුර්කියට ගෑස් සැපැයීමේ ගනුදෙනුවක් ද පවතී.

රුසියාව පවසන්නේ එම ගෑස් නළවලට යුක්රේනයෙන් ප්‍රහාර එල්ල වන බවය. ඒ සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරියේය. ඒ, බටහිර හිතවාදී යුක්රේන රජය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.

‘නේටෝ’ යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේනය ‘නේටෝ’ සාමාජිකයකු වීම තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාව දිගින් දිගටම පෙන්වා දී ඇත.

තුර්කිය ද නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. රුසියාව මිතුදම් පවත්වන එකම ‘නේටෝ’ සාමාජිකයා වන්නේ ද තුර්කියයි.


RECOMMEND POSTS