ටෙල් අවීව් නුවර ත්‍රස්ත ප්‍රහාරයක්



ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර මුහුද අද්දර උද්‍යානයක ජනතාව අතට වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් කඩා වැදුණි. මෝටර් රථයට යටවීමෙන් ඉතාලි ජාතික සංචාරකයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලැබූ ගණන 14 කි.

සුදු පැහැති එම මෝටර් රථය නවත්වා ගැනීමට පොලිසිය සමත් වුණු අවස්ථාවේදී, මෝටර් රථයේ රියදුරු ගිනි අවියක් අතට ගත් බවත්, එම අවස්ථාවේ පොලිසිය රියැදුරාට වෙඩි තැබූ බවත් අල් ජසීරා පුවත් සේවය පවසයි. එය පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් කළ ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ඊශ්‍රායලය හඳුන්වා දී තිබේ.

මියගිය ඉතාලි ජාතිකයා 30 හැවිරිදි තරුණයකු බව පැවැසෙයි. තුවාල ලැබූවන් අතර තවත් ඉතාලි ජාතිකයන් කීප දෙනෙකු සිටින බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ඊට අමතරව, බ්‍රිතාන්‍ය ජාතික තරුණයකු ද තුවාලකරුවන් අතර සිටී.

සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින්, පලස්තීන සන්නද්ධ කණ්ඩායම් කළ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඇමෙරිකාව විසින් ද හෙලා දකිනු ලැබ තිබේ. ප්‍රහාරයෙන් පසු ටෙල් අවීව් නුවර ආරක්ෂාව තර කිරීමට ද පියවර ගැණුනු බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS