ගාසා පාලනය හමාස් සංවිධානයෙන් ගිලිහිලා



දිගින් දිගටම එල්ල වන හමුදා ප්‍රහාර හමුවේ, හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමිවී ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ කීවේ, ඊශ්‍රායල ජාතික රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, ඊශ්‍රායල හමාස් ගැටුම්වල නවතම තත්ත්වය පැහැදිලි කරමිණි.

“හමාස් සංවිධානය අපේ ප්‍රහාර හමුවේ අඩපණ වෙලා. ගාසා තීරයේ පාලනය දැන් ඔවුන් සතුව නැහැ. අපේ ප්‍රහාරවලින් හමාස් නායකයන් බොහෝ දෙනකුට දිවි අහිමි වුණා. හමාස් කඳවුරුවලට පලස්තීන සිවිල් වැසියන්ගකඩා වැදී හමාස් සටන්කාමීන් සතු බඩු බාහිරාදිය කොල්ල කනවා” යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පැවැසුවේ, ඒ සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ද ගොනු කරමිණි.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යුද ගැටුම් ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී එල්ල කළ කුරිරු ප්‍රහාරයෙන් පසුවය.

මේ වනවිට, ඊශ්‍රායල හමුදා ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ගාසා තීරයට පහර දෙයි. ඒ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ සහ පැහැරගෙන ගිය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 240 දෙනා මුදා ගැනීමේ ද අරමුණින්ය.

ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වුවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු දිගින් දිගටම පවසා ඇත්තේ, කිසිම අවස්ථාවක හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයකට යෑමට තමන් එකඟ නොවන බවය.

එසේ වුවත්, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනා ආරක්ෂිතව බේරා ගැනීමට, හමාස් සටන්කාමීන් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමටත්, ඒ අනුව සටන් විරාමයකට යෑමටත් තමන් සූදානමින්  සිටින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට පැහැදිලි කර ඇත.

හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. හමාස් සංවිධානය ගාසා පලස්තීන වැසියන්ගේ ඡන්දයෙන්, ගාසා තීරයේ බලයට පත්වුණු කණ්ඩායමය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS