ගාසා නගරය වටකර පහර දෙයි



ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ පිහිටි ගාසා නගරය සම්පූර්ණයෙන්ම වට කරමින්, හමාස් සටන්කාමීන් සොයා පහර දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් ගණන මේ වනවිට 9,200 තෙක් ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත්තේ සටන් විරාමයකට යෑමේ කිසිදු අදහසක් නැති බවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි යුද්ධය අවසන් වන්නේ, හමාස් සටන්කාමීන් සියලු දෙනා මුලිනුපුටා දැමීමෙන් පසුව බවත්ය.

ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වූයේ, හමාස් සටන්කාමීන් පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමත්, ඊශ්‍රායල වැසියන් අල්ලා ගෙන ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමට කටයුතු කිරීමත් සමඟය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් ඇතැයි ඇමෙරිකාව තරයේ පවසා තිබේ.

කෙසේ නමුත් ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා සටන්කාමීන් මියයෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කනස්සල්ල පළ කර ඇත.

මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින්, තාවකාලිකව හෝ සටන් විරාමයකට යා යුතු යැයි බයිඩන් පවසා තිබේ. සටන් විරාමයක් ගැන ඇමෙරිකන් ජනාධිපතිවරයා අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.


RECOMMEND POSTS