ගාසා තීරය අමු සොහොනක්



හමාස් සටකන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරය මේ වනවිට අමුසොහොනක් බවට පත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් පවසයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් ගණන 10,022 සීමාව පසු කර තිබේ. පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පැවැසුවේ මියගිය එම පිරිස අතර කුඩා දරුවන් 4,100 ක් සිටින බවය.

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.

ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර මාසයක් ගත වී තිබුණි.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, වහාම සටන් විරාමයක් අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.

ගාස තීරයේ පමණක් නොව, පලස්තීනුවන් ජීවත් වන බටහිර ඉවුරේ ද මේ වනවිට ගැටුම් ඇවිලෙයි. ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ පලස්තීනුවන් ඉලක්ක කර ගනිමින් ද ප්‍රහාර එල්ල කරන බවත්, එම ප්‍රහාරවලින් මියගිය බටහිර ඉවුරේ පලස්තීනුවන් ගණන 152 ක දක්වා ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් සංවිධානය අඩපණ කරනතුරු යුද්ධය නවත්වන්නේ නැති බවත්, කවුරු බලපෑම් කළත්, කිසිම අවස්ථාවක සටන් විරාමයකට නොයන ලෙසත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු දිගින් දිගටම අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS