ගාසා තීරය අත්පත් කරගැනීමේ අදහසක් නෑ
සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරමින්, ගාසා තීරයට පහර දෙන්නේ, ගාසා තීරය අත්පත් කර ගැනීමට නොව, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා හමාස් සංවිධානය අඩපණ කිරීමට යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ‘ෆොක්ස් නිවුස්’ නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. “අප හමුදාව සාර්ථකව හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදිනවා. වැඩි වාසි ඇත්තේ අපටයි. සටන් විරාමයකට යෑමට අපට අවශ්‍යතාවක් නෑ.හමාස් සටන්කාමීන් පරාජය බාර ගනිමින් යටත් වන්නේ නම් පමණක් සටන් විරාමයක් ගැන සිතන්න පුළුවන්” යැයි නෙදන්යාහු එම සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කළේය.
හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණයට තමන් සහාය පළ කරන බව ඇමෙරිකාව පවසා තිබේ. මේ මොහොතේ ඊශ්‍රායලය සටන් විරාමයකට ගියහොත්, ප්‍රහාරවලින් පසුබෑමට ලක්වී සිටින හමාස් සටන්කාමීන් යළි ශක්තිමත් විය හැකි යැයි ඇමෙරිකාවේ ද අදහසය.
මේ වනවිට ගාසා තීරයේ ‘ගාසා නගරය’ වට කරමින් ඊශ්‍රායල හමුදා ඊට පහර දෙමින් සිටී. ගාසා නගරයෙන් පලා ගිය පලස්තීන වැසියන් ගණන 50,000ක් යැයි ද පැවැසෙයි. උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4 ක්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්‍රායලය පවසා තිබේ. ඊශ්‍රායලය මේ සඳහා එකඟ වී ඇත්තේ ඇමෙරිකාව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
(ඒ.එෆ්.පී.)