කැනඩා-සෞදි මිතුදම් යළි ඇරැඹේ



කැනඩාවත් සෞදියත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වසර හයකට පසු යළි ආරම්භ විය. කැනඩා සෞදි මිතුදම් පළුදු වූයේ 2018 දී, සෞදියේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් කැනඩාව දැඩි ලෙස සෞදි රජය විවේචනය කළ බැවිනි.

කැනඩා රජයත් සෞදි රජයත් වෙන වෙනම ප්‍රකාශ නිකුත් කරමින් පවසා ඇත්තේ 2018 වසරේ සිදුවුණු හිත් අමනාපකම් පසෙකලා යළි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට හැකිවුණු බවය.

ඒ අනුව, යළිත් වරක් සෞදිය සහ කැනඩාව අතර නව තානාපතිවරුන් පත් කර ගැනීමක් ද සිදුවනු ඇත. සෞදියට යැවෙන නව කැනේඩියානු තානාපතිවරයා වනු ඇත්තේ ජෝන් පිලීප් ලින්ටෝව්ය. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ විදෙස් සබඳතා කටයුතු සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති රාජ්‍ය නිලධාරියෙකි.

බිඳ වැටුණු සබඳතා යළි ආරම්භ වූයේ පසුගියදා පැවැති ‘ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව’ අතරතුරේ ඊට සහභාගී වුණු කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු අතරේ දීර්ඝ වශෙයෙන් පැවැති සාකච්ඡාවලින් පසුවය.
2018 වසරේ දී සෞදි රජය, එරට සෞදියේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන ප්‍රමුඛ පෙළේ කාන්තා ක්‍රියාකාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත්තේය.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ රජය එම අවස්ථාවේ සෞදි රජය විවේචනය කළේය. එය සෞදි රජයේ උදහසට හේතුවක් වූ අතර සිද්ධිය දුරදිග ගියේ කැනඩාව සමඟ සෞදිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත්වා තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ආපසු ගෙන්වා ගැනීමෙන් පසුවය.

පසුගිය කාලය පුරා සබඳතා පළුදු වුණු රටවල් රැසක් සමඟ යළි සබඳතා ඇති කර ගැනීමට සෞදි අරාබිය කටයුතු කළේය. සෞදිය සහ ෂියා මුස්ලිම් ඉරානය අතර යහපත් සබඳතා ඇති කර ගැනීම සිදුවූයේ චීනයේ මැදිහත් වීමෙනි.

පසුගිය දා සෞදිය සහ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය අතරේ ද යහපත් සබඳතා වර්ධනය විය. සෞදියේ පැවැත්වුණු අරාබි ලීගයේ වාර්ෂික සමුළුවට පවා බෂාර් අල් අසාද් සහභාගී වූයේය. ඊට අමතරව යේමන අර්බුදය විසඳීමටත්, සුඩානයේ සිවිල් අරගලය විසඳීමටත් සෞදිය මැදිහත් වී සිටින බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS