කවුරු ඊශ්‍රායලයේ බලයට ආවත් අපට සෙතක් නෑ



කුමන දේශපාලන පක්ෂයක් ඊශ්‍රායලයේ බලයට පත්වුවත්, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන්ට සෙතක් සැලසෙන්නේ නැතැයි පලස්තීන පාලන අධිකාරිය පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ වසර 12 ක පාලනය අවසන් වී ඇත්තේ, විපක්ෂ සන්ධානය නව රජයක් පිහිටුවීමට කටයුතු කර ඇති බැවිනි. එම නව සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේ අන්ත දක්ෂිණාංශික 'යමීනා' දේශපාලන පක්ෂයේ නායකයා වන 49 හැවිරිදි නෆ්තාලි බෙනට්ය.

බෙනට්, අරාබි ඊශ්‍රායල සහ යුදෙව් ජාතිකවාදී පක්ෂ ද හවුල් කර ගනිමින් සන්ධානගත වී සිටින්නේ පාර්ලිමේන්තු විපක්ෂ නායක ලෙස කටයුතු කළ 57 හැවිරිදි යාර් ලපිද් සමඟය. යාර් ලපිද් නායකත්වය දෙන්නේ මධ්‍යස්ථමතධාරී 'යෙෂ් අතිද්' පක්ෂටය. බෙන්ජමින් නෙදන්යාහු නායකත්වය දෙන්නේ 'ලිකුද්' පක්ෂයට වන අතර, එය මධ්‍ය, දක්ෂිණාංශික දේශපාලන පක්ෂයකි.

අග්‍රාමාත්‍ය ධුරයට පත් වන නෆ්තාලි බෙනට්, බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස පිහිටුවීම කටයුතු බාර ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ. එමෙහන්ම ඔහු නෙදන්යාහුගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇත. නෆ්තාලි බෙනට්, නෙදන්යාහුට නොදෙවැනි අයුරින් ජාතිකවාදී අදහස් ඇති අයකු බව 'පලස්තීන විමුක්තිකාමී සංවිධානය' පැහැදිලි කර ඇත.

පලස්තීනුවන් පදිංචි ගාසා තීරය සහ බටහිර ඉවුර ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් ලබා දීම අසීරු වී ඇත්තේ ද ඒ නිසාය.

ගාසා තීරයේ හමාස් සංවිධානය පවසා ඇත්තේ නෙදන්යාහුගේ රජයට වඩා මෙම නව සන්ධාන රජය පලස්තීන වැසියන්ට දිගින් දිගටම කෙණෙහිලිකම් කරනු ඇති බවය. 'අතීතයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ ආණ්ඩු වෙනස් වීම් කීපයක් සිදුවුණා. කවුරු බලයට ආවත් පලස්තීනුවන්ට සිදුවන කෙණෙහිලිකම් අඩු වුණේ නැහැ. අඩු වෙන්නෙත් නැහැ' යැයි හමාස් සංවිධානයේ ප්‍රකාශක හසීම් කසීම් පවසා ඇත.

ජෙරුසලමේදීය (රොයිටර්)


RECOMMEND POSTS