කමේනිගේ ආරක්ෂාවට තර්ජනයක්



ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තවත් දැඩි කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයේ ප්‍රධානියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව මෙලෙස හෙළි නොකළ ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ඉරානයේ අනුග්‍රහය ලබන ප්‍රබලතම සංවිධානය වන හිස්බුල්ලා වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එල්ල කරන ප්‍රහාර හමුවේ ඉරානය සිය අධ්‍යාත්මික නායකයාගේ ආරක්ෂාව පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන බව මෙම තීරණයෙන් පෙන්නුම් කරන බවත් විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.

එලෙස ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන යාමට ප්‍රථම ඉරාන අධ්‍යාත්මික නායකයා නසරල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කරමින් පණිවුඩයක් නිකුත් කර ඇති බවත් හිස්බුල්ලා නායකයාගේ ඝාතනයට ඊශ්‍රායලයට නිසැකවම ඉරානයෙන් මෙන්ම හිස්බුල්ලා සංවිධානයෙන්ද පිළිතුරු ලැබෙනු ඇති බව එහි දැක්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම හිස්බුල්ලා නායකයාගේ මරණය හේතුවෙන් ඉරානයේ දින 5 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද ඉරානය ආධ්‍යාත්මික නායකයා කටයුතු කර ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ දැඩි ආක්‍රමණශීලිත්වය නිසැකවම ඔවුන්ට පසුතැවීමට හේතුවක් වනු ඇති බවත් ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කළත් එහි ඉරණම හිස්බුල්ලා සංවිධානය තීරණය කරනු ඇති බවත් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නිකුත් කළ පණිවුඩයේ දැක්වේ. ඉරාන හමුදාවේ ප්‍රධානියෙක්ද පසුගිය සිකුරාදා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව බේරුට් නගරයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගොස් ඇතැයිද පැවැසෙයි.

හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමේ මෙහෙයුමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා විසින්ම අනුමැතිය ලබාදී ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඉරානයටද අනතුරු අඟවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ දිගු හස්තයට ඉරානයේ හෝ මැද පෙරදිග කලාපයේ ළඟා නොවිය හැකි තැනක් නොමැති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවැසෙයි.

හසාන් නසරල්ලා ඝාතනය කිරීමත් සමග ඉරානය ඊශ්‍රායලයට පහර දීමට ඉඩ ඇති බැවින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ. යමෙක් ඔබව මරා දැමීමට උත්සාහ කරන්නේ නම් ඔහුව පළමුව මරා දැමිය යුතු බවත් ඒ ආකාරයෙන් ඊශ්‍රායලය හිස්බුල්ලා නායකයා ඝාතනය කළ බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීම නිකුත් කරමින් පැවැසුවේය.


RECOMMEND POSTS