කටාර් එමීර් බයිඩන් හමුවෙයි



ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සහ ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

කටාර් එමීර් අල් තානී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට ධවල මන්දිරයට පැමිණ පළමු අවස්ථාව මෙයයි. කටාර් එමීර්වරයා හමුවීමෙන් අනතුරුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මාධ්‍යවේදීන් හමුවේ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් කියා සිටියේ, කටාරය යනු විශ්වාසය තැබිය හැකි හොඳ මිතුරකු බවය.

‘නේටෝ සංවිධානයට අයත් නොවන, ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රාජ්‍යයක් ලෙස මා කටාර් රාජ්‍යය නම් කරන්නැයි කොංග්‍රසයට යෝජනා කරවා‘ යැයි ද ජනාධිපති බයිඩන් පැහැදිලි කළේ කටාර් එමිර් අල් තානි සමඟ පැවැත්වූ සාකච්ඡා ඵලදායී වූ බව ඉඟි කරමිනි.

ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රාජ්‍යයක් ලෙස කොංග්‍රසය කටාර් රාජ්‍යය පිළිගත් විට, කටාර් රාජ්‍යයට විශේෂ වරප්‍රසාද රැසක් හිමිවනු ඇත. දැනට කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතරේ පවතින ආර්ථික සහ හමුදාමය සබඳතා තව තවත් වැඩි කර ගැනීමට ද හැකිවනු ඇති බව පැවැසෙයි.

‘නේටෝ සාමාජිකයන් නොවන, ඇමෙරිකාවේ හිතවතකු ලෙස කිසියම් රටක් නම් කෙරෙන්නේ, එම රට කෙරෙහි ඇමෙරිකාවේ විශාල ගෞරවයක් තිබෙනවා නම් පමණයි. කටාර් රාජ්‍යය අතීතයේ සිට ඇමෙරිකාව සමඟ ඉතා සමීපයෙන් කටයුතු කරමින් සිටිනවා. මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවට සිටින විශ්වාසවන්ත රටක් ලෙස කටාරය හැඳින්විය හැකියි.

ඉදිරියේදී කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර පවතින සබඳතා තව තවත් පුළුල් වේවි’ යැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ.

මේ වනවිටත් ගල්ෆ් කලාපයේ, නේටෝ සාමාජිකයකු නොවන ඇමෙරිකාවට හිතවත් රාජ්‍යයක් ඇත. ඒ, කුවේටයයි. කටාරය ගල්ෆ් කලාපයේ ඇමෙරිකාවට හිතවත් දෙවැනි නේටෝ නොවන මිතුරා වනු ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS