ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්



ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් එක් ඊශ්‍රායල වැසියකු මියගිය බවත් 10 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතළ බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන් බාරගෙන ඇත. යේමනයේ හවුති සටන්කාමීන් යනු ඉරානයේ අවි ආයුධවලින් සන්නද්ධ වූ සටන්කාමී සංවිධානයකි.

හවුති සටන්කාමීන් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයේ පලස්තීනුවන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ඊට විරෝධය දැක්වීමක් ලෙස මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවය.

ඊශ්‍රායල හමුදාව, ගතවුණු පැය 24 තුළ මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එම ප්‍රහාරවලින් ගාසා සිවිල් වැසියෝ 48 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බවත් අනාවරණය වී ඇත.

ඊශ්‍රායල ගුවන් හමුදාව එක් ප්‍රහාරයක් එල්ල කළේ නූස්රියාත් පළාතේ පිහිටි පාසලකටය. මෙම පාසල එක්සත් ජාතීන්ගේ ආධාර යටතේ පිහිටුවන ලද්දකි. පාසලට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය ගණන 25 කි. ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS