ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා රෝහල් අඩපණ වෙයි
ගාසා තීරයේ ප්‍රධාන රෝහල දෙක ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ ප්‍රධාන රෝහල් දෙක වන්නේ, අල් ෂයිෆා රෝහල සහ අල් කුඞ්ස් රෝහලය.
ඊශ්‍රායලය ගාසා තීරයට ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරයි. ප්‍රහාර හේතුවෙන් පලස්තීන සිවිල් වැසියක් 2,300 කට වැඩි පිරිසක් ආරක්ෂාව ලැබ රැඳී සිටින්නේ අල් ෂයිෆා සහ අල් කුඞ්ස් රෝහල්වල යැයි ද පැවැසෙයි.
රෝහල් කටයුතු අඩපණ වෙද්දී, රෝහල්වල නොමේරූ බිලිඳුන්, හෘද රෝගීන් ද ඇතුළු අසාද්‍ය රෝගීන් මියයෑමට පටන් ගෙන ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ පලස්තීන කාන්තාවන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඝාතනය කරමින් සිදුවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර වහා නවත්වා, සටන් විරාමයකට යා යුතු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊශ්‍රායලයට දන්වා තිබේ.
ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් සේම ප්‍රංශයේ ද ස්ථාවරය වී ඇත්තේ, හමාස් සංවිධානය ගාසා තීරයෙන් මුලිනුපුටා දැමිය යුතු බවය.
කෙසේ නමුත් දිගින් දිගටම ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම අනුමත කළ නොහැකි යැයි මැක්රොන් පැහැදිලි කර තිබේ. එය කිසිසේත් සාධාරණීකරණය කළනොහැකි බව ද මැක්රොන් ඊශ්‍රායලයට දන්වා ඇත.
මේ අතර, පලස්තීනුවන් ජීවත් වන භූමියේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවකට ඉන්දියාව සහාය පළ කර තිබේ.
එම යෝජනාවට විරෝධය දැක්වූ රටවල් 7 කි. ඇමෙරිකාව සහ කැනඩාව ඒ අතරින් ඉදිරියෙන්ම සිටී. යෝජනාව ඉදිරිපත් කෙරුණේ සිරියාවට අයත් ගෝලාන් කදුකරයේ සහ නැගෙනහිර ජෙරුසලමේ යුදෙව් ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙනි.