ඉරාන නව කැබිනට් මණ්ඩලය නම් කෙරේ



ඉරානයේ නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්, මධ්‍යස්ථමතධාරී මසූඩ් පෙසෙෂ්කියන්, 19 දෙනකුගෙන් සමන්විත සිය කැබිනට් මණ්ඩලය නම් කළේය. 

එම කැබිනට් මණ්ඩලයේ නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයට කාන්තාවක සහ විදේශ ඇමැති ධුරයට මධ්‍යස්ථමතධාරී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු නම් කර ඇත.

නව කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට අමාත්‍ය ධුර හිමිවනු ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ අනුමැතිය ඔවුන් සඳහා හිමිවූ විට යැයි ද පැවැසෙයි.

නාගරික සංවර්ධන අමාත්‍ය ධුරයට, නම් කර ඇත්තේ 48 හැවිරිදි ෆාර්සානේහ් සදීහ්ය. සදීහ් ට අමාත්‍ය ධුරය හිමිවුවහොත්, 1979 වසරේ දී ඉරානය ඉස්ලාමික ජනරජයක් වීමෙන් පසු අමාත්‍ය ධුරයක් හිමිවන දෙවැනි කාන්තාව ඇය වනු ඇත.

විදේශ අමාත්‍ය ධුරයට නම් කර ඇත්තේ, 61 හැවිරිදි අබ්බාස් අරග්චිය. ගාසා තීරයේ හමාස් දේශපාලන අංශ නායක, ඉස්මායිල් හානියේ ඉරානයේ දී ඝාතනය වීමෙන් පසු ඉරානයත්, ඊශ්‍රායලයත් අතර හටගත් අර්බුදකාරී තත්ත්වය යුද්ධයකට නොයා විසඳා ගැනීමට තමන් උත්සාහ ගන්නා බව නව ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS