ඉරාන ජනපතිගෙන් පළමුවරට සෞදි කුමරුන්ට ඇමතුමක්
ඊශ්‍රායල රජයේ ගුවන් ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් දිගින් දිගටම මරණයට පත් වීම සම්බන්ධයෙන් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ඒ, ඊශ්‍රායල රජය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ ආරම්භ වුණු අවි ගැටුම සමතයකට පත් කිරීමේ අරමුණින්ය.
සෞදියේ සල්මාන් කුමරු සහ ඉරාන ජනාධිපති රයිසි අතර දුරකතන කතාබහක් සිදුවුණු පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
සුන්නි මුස්ලිම් සෞදිය මෙන්ම ෂියා මුස්ලිම් ඉරානය ද පලස්තීන වැසියන් වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම් රාජ්‍යයන්ය. සෞදිය සහ ඉරානය මැදපෙරදිග කලාපයේ එදිරිවාදීන් වන අතර, දෙපාර්ශ්වය අතර යහපත් සබඳතා නිර්මාණය වූයේ චීනයේ මැදිහත් වීමෙනි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන් සෞදි කුමරු මෙන්ම ඉරාන ජනාධිපතිවරයා ද කනස්සල්ල පළ කළහ. ඊශ්‍රායල රජය ගාසා තීරයේ පලස්තීන වැසියන් ඉලක්ක කර ගනිමින් පහර දීම වහා නැවැත්විය යුතු යැයි සෞදි කුමරු සහ ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ඉරානය, හමාස් සංවිධානයට සහාය ලබා දෙයි. කෙසේ නමුත් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු ප්‍රහාරය පසුපස ඉරානය සිටින බවට කිසිදු සාක්ෂියක් නැති බව ඇමෙරිකන් බුද්ධි අංශ පවා තහවුරු කර තිබේ. සෞදිය ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී. එසේ වුවත්, සෞදිය පසුගිය කාලයේ ඊශ්‍රායල රජය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ කළේය. ඒ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.