ඇමෙරිකන් හමුදා ඉරාන සටන්කාමීන්ට පහර දෙයි
සිරියාවේ පිහිටි ඉරාන සටන්කාමීන්ට අයත් ආයුධ ගබඩාවකට ඇමෙරිකන් ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් ගුවන් හමුදාව එම ප්‍රහාරය එල්ල කළේ ‘එෆ්.16’ වර්ගයේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් යොදාගෙන යැයි ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි.
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට ඉරානයේ සහාය නොඅඩුව හිමිවෙයි. ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සාහ ගනිද්දී, අසාද්ගේ සහායට ඉදිරිපත් වූයේ ද ඉරානය සහ රුසියාවය.
ඇමෙරිකන් ගුවන් හමුදාව පහර දී විනාශ කළේ ඉරාක සිරියා දේශසීමාවේ, සිරියාවට අයත් අබු කමාල් නගරයේ පිහිටි ආයුධ ගබඩාවකි. ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයන් ද මෙහි සිටි බව ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කර තිබුණි.
ඊශ්‍රායලය සමඟ ගැටෙන ගාසා තීරයේ හමාස් සංවිධානයට අනුග්‍රහය දක්වන්නේත්, අවි ආයුධ සහ අවි පුහුණුව ලබා දෙන්නේත් ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ගැටුම දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ සටනේ දී තමන් ඊශ්‍රායලයට සහාය දක්වන බව ඇමෙරිකාව පවසා තිබේ.
පසුගිය දින කීපයේ ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරු කීපයකට, සිරියාවේ සිට ඉරාන හිතවාදී සටන්කාමීහු රොකට් ප්‍රහාර එල්ල කළහ. ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඇස්ටින් මාධ්‍ය හමුවේ කියා සිටියේ එම ප්‍රහාරවලින් ඇමෙරිකන් සොල්දාදුවන් 21 දෙනකු තුවාල ලබා සිටින බවය. සිරියාවේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් ඇමෙරිකාවට පහර දුන්නේ ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දක්වන බැවිනි.
මේ වනවිට විදෙස්ගත ඇමෙරිකානුවන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඊශ්‍රායලයට සහාය දැක්වීම හේතුවෙන්, ඇමෙරිකානුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වීමට ඉඩ ඇති බව පෙන්වා දෙමිනි.
(ඒ.එෆ්.පී.)