ඇමෙරිකන් ඩ්‍රෝන යානා ගාසා අහසේ



හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් සොයමින්, ඇමෙරිකන් ඩ්‍රෝන යානා, ගාසා තීරයට ඉහළින් අහසේ සැරිසරන බව වාර්තා වේ.

මේ බව වාර්තා කළේ අල් ජසීරා පුවත් සේවයයි. කෙසේ නමුත් ඇමෙරිකන් හමුදාව මේ බව තහවුරු කර නැත. ඩ්‍රෝන යොදා ගනිමින් ඇමෙරිකන් හමුදාව සිදු කරන්නේ බුද්ධි තොරතුරු රැස් කිරීම බවත්, එම ඩ්‍රෝන යානා ප්‍රහාර සඳහා යොදා නොගන්නා බවත් අල් ජසීරා පුවත් සේවය පෙන්වා දී ඇත.

මේ අතර, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යළි ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය. ඊශ්‍රායල හමාස් සටන ආරම්භ වීමෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණෙන දෙවැනි අවස්ථාව මෙයයි.

ඊශ්‍රායලය යනු ලොව එකම යුදෙව් රාජ්‍යයයි. ඇන්තනි බ්ලින්කන් ද යුදෙව්වෙකි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් පමණක් නොව ගොඩබිමින් ද පහර දෙයි. මේ වනවිට එම ප්‍රහාරවලින් ගාසා වැසියන් 9,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගාසා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට අවධාරණය කිරීම මෙම සංචාරයේ අරමුණ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් ඇති බව ඇමෙරිකාවේ ස්ථාවරය වුවත්, ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඊශ්‍රායල රජය පියවර ගත යුතු බවත් ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය. ‘ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් ත්‍රස්තවාදීන් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය අමතක කරන්න බැහැ. ඒ නිසා හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලය ගෙන යන සටනට ඇමෙරිකාවේ පූර්ණ සහාය ලැබෙනවා. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් තිබෙනවා’ යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනිය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS