අබ්බාස් රුසියන් ජනපති පුටින් හමුවෙයි



පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් කසක්ස්තානයේ අස්තානා නුවරදී පැවැත්විණි. හමුව පැවැත්වූයේ ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට, අබ්බාස් සහ පුටින් සහභාගී වූ අවස්ථාවේදීය.

ජනපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් වූයේ ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීම කෙරෙහිය. ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමේ තනි මැදහත්කරු ලෙස ඇමෙරිකාව කටයුතු කිරීම පලස්තීන ජනාපධිතිවරයාගේ අප්‍රසාදයටත් විරෝධයටත් හේතුවක් විය.

ඇමෙරිකාව කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව රුසියන් ජනාධිපති පුටින් හමුවෙමින්, ජනාධිපති අබ්බාස් පැහැදිලි කළේය.

මේ අතර, ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට ඇමෙරිකාව පමණක් නොව තවත් පාර්ශ්වකරුවන් මැදිහත් විය යුතු යැයි රුසියන් ජනාධිපති පුටින් යෝජනා කර ඇති අතර එය පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ පැසැසුමට ලක් වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියන් ජනාධිපති පුටින් යෝජනා කර ඇත්තේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට විසඳුම් සෙවීමේ සාකච්ඡා සඳහා රුසියාව, ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය මැදහත්කරුවන් විය යුතුය යන්නය.

(රොයිටර්)


RECOMMEND POSTS