ඉරානය ත්‍රස්ත ප්‍රහාර මාලාවක් වළක්වා ගනී



අයි.එස්.අයි.එස් ත්‍රස්ත ප්‍රහාර මාලාවක් වළක්වා ගැනීමට තම බුද්ධි අංශ සමත් වූ බව ඉරාන රජය පවසයි.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්, ඉරානයේ පළාත් තුනක, එකිනෙකට වෙනස් ස්ථාන 33 ක, එකම වේලාවේ බෝම්බ පුපුරුවා හැරීමට සැලැසුම් සකස් කර තිබුණි.

බුද්ධි අංශ මේ බව අනාවරණය කර ගැනීමත් සමඟ වැටලීම් සිදුවුණු බවත් ප්‍රහාර සැලැසුම් කළ 28 දෙනකු අත්අඩංගුවට ගත් බවත් ප්‍රහාරය ව්‍යර්ථ කර ගැනීමට හැකිවුණු බවත් ඉරාන රජය වැඩි දුරටත් පවසා තිබේ.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ගේ අරමුණ වී ඇත්තේ ඉරානය තුළ ‘අස්ථාවර’ තත්ත්වයක් නිර්මාණය කිරීම සහ ඉරාන ආරක්ෂක අංශ දුර්වල බව ඉරාන ජනතාවට පෙන්වීම යැයි ඉරාන බුද්ධි අංශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරානය යනු ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයකි. අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානයයි.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ සහ සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලි සාමාජිකයන් හා සම්බන්ධකම් පවත්වන බව ද ඉරාන බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් ඉරානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් මීට පෙර ද ප්‍රහාර එල්ල කර තිබේ. අවසන් වරට ඉරානයේ අයි.එස්.අයි.එස්. ප්‍රහාරයක් සිදුවූයේ පසුගිය ඔක්තෝබරයේය. එම ප්‍රහාරයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS