සටන් විරාම කොන්දේසි වෙනස් කරන්න හදනවා



ඊශ්‍රායල නියෝජිතයන් සහ හමාස් සටන්කාමීන් අතරේ ඇතිකරගත් සටන් විරාමයේ කොන්දේසි වෙනස් කිරීමට හමාස් සංවිධානය උත්සාහ ගන්නා බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු චෝදනා කරයි.

සටන් විරාමය සඳහා ඊශ්‍රායල නියෝජිතයන් සහ හමාස් සටන්කාමීන්  අතරේ එකඟත්වයක් ඇති කර ගැණුනේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට ද එකඟතාවක් ඇති කර ගනිමිණි.

ප්‍රාණඇපකරුවන් නිදහස් කරමින් සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරදීය. එම සටන් විරාමය සම්බන්ධයෙන් මැදහත්කරු ලෙස කටයුතු කළේ කටාර් බලධාරීන්ය. ඊට අමතරව, ඇමෙරිකාව ද එම සාකච්ඡා සඳහා සම්බන්ධ වී සිටියේය.
සටන් විරාමය සාර්ථක බවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා හැරීමට හමාස් සංවිධානය කැමැත්ත පළ කළ බවත් ඊශ්‍රායල අගමැති නෙදන්යාහු ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ ඊයේ (16) දිනයේය. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ඊට හිමිවිය.

 ප්‍රාණ ඇපකරුවන් නිදහස් ලබන බව එම ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඊශ්‍රායල රජය මේ වනවිට දැනුම් දීමක් කර ඇත. ඔවුහු ද ප්‍රාණඇපයේ පසුවන තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් ඉක්මණින් තමන්ට දකින්න ලැබේවි යැයි අපේක්ෂාවෙන් පසුවෙති.

ඇතිකරගත් එකඟතාවට අනුව, සටන් විරාමය ආරමභ වන්නේත්, හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා හැරීම සිදුවන්නේත්, අනිද්දා(19) දිනයේ සිටය.

සටන් විරාමය දින 15 ක් තිස්සේ ක්‍රියාත්මක වනු ඇත. ඊශ්‍රායලය මෙන්ම හමාස් සංවිධානය ද ඇති කරගත් එකඟතාව අනුව කටයුතු කරන්නේ නම්, සටන් විරාමය ස්ථිර සටන් විරාමයක් බවට පත් වනු ඇති බව කටාර් බලධාරීහු පවසති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS