සටන් විරාමය දීර්ඝ කෙරේ
කටාර් රාජයයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇති කරගත් තාවකාලික සටන් විරාමය, තව දුරටත් දීර්ඝ කර ගැනීමට අවසන් මොහොතේ එකඟත්වයක් ඇති කර ගැනුණි. ඒ, කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර දී දෙපාර්ශ්වයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමත්, ඊශ්‍රායලයේ බන්ධනාගාරවල සිරගත කළ පලස්තීනුවන් නිදහස් කිරීමත් දිගටම සිදුවනු ඇත. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් තාවකාලික සටන් විරාමය, අවසන් වීමට නියමිතව තිබුණි.
සටන් විරාමය තවදුරටත් දිර්ඝ කර ගැනීමේ අරමුණින්සාකච්ඡා පැවැත්වෙද්දී, හමාස් සංවිධානය පවසා ඇත්තේ, ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල සෙබළුන් සියලු දෙනා නිදහස් කිරීමට කැමැති බවය. එසේ කිරීමට හමාස් සංවිධානය ඊශ්‍රායලයට කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.
ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල සෙබළුන් සියලු දෙනා නිදහස් කිරීමට තමන් එකඟ බවත්, තමන් එසේ කරන්නේ, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල කිසිදු නඩු විභාගයකින් තොරව, රඳවාගෙන සිටින පලස්තීනුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් බවත් හමාස් නියෝජිතයන් පවසා ඇත. මීට ඊශ්‍රායලය මෙතෙක් පිළිතුරක් දී නොමැත.
යම් හෙයකින් සටන් විරාමයට දීර්ඝ නොවුණහොත්, ඊශ්‍රායල හමුදා සමඟ සටන් වැදීමට, සීරුවෙන් සිටින්නැයි ද හමාස් සන්නද්ධ අංශය සිය සටන්කාමීන්ට උපදෙස් දී තිබුණි. මේ අතර, සටන් විරාමය අවසන් වූ සැණින්, ගාසා තීරයේ දකුණු දිග ප්‍රදේශවල හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට පවසා තිබුණි. ඒ, දෙදෙනා අතරේ දුරකතනයෙන් කතාබහක් පැවැති අවස්ථාවේදීය.
සටන් විරාමය තව දුරටත් පවත්වාගෙන යෑමට කටයුතු කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට පවසා ඇත්තේ, ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශවල හමුදා මෙහෙයුම් ආරම්භ කිරීම අනිවාර්ය බවත්, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමේ අදහස ඊශ්‍රායලය බැහැර කර නොමැති බවත්ය.
හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටි තවත් ඊශ්‍රායල වැසියන් 16 දෙනකුට නිදහස ලබා දුන්නේය. ඔවුන් අතරේ තායිලන්ත ජාතිකයන් සිවු දෙනකු සිටින බව පැවැසෙයි. ඊට අමතරව, ඇමෙරිකන් ජාතික කාන්තාවක සහ ඊශ්‍රායල රුසියන් ජාතිකයන් දෙදෙනකුට ද නිදහස හිමිවිය.