සටන් විරාමය දීර්ඝ කරගැනීමට සාකච්ඡා
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තාවකාලික සටන් විරාමය, අද (29) අවසන් වීමට නියමිතය.
සටන් විරාමය තවත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සාකච්ඡා පැවැත්විණි.
තාවකාලික සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. අද (29) දෙපාර්ශ්වය අතරේ සාකච්ඡා පැවැත් වෙන්නේ දෝහා නුවරදීය.
එම සාකච්ඡා සඳහා ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී විලියම් බර්න්ස් සහ ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශයේ ප්‍රධානී ඩේවිඩ් බර්නියා ද සහභාගී වෙති. මොවුන් දෙදෙනා සහ කටාර් එමීර් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී අතරේ හමුවක් ද පැවැත්වීමට නියමිතය.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ එකඟත්වයක් ඇති කර ගැණුනේ ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන්, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් වෙනුවෙන් හුවමාරු කර ගැනීමටය. එම කටයුතු සටන් විරාමය ආරම්භ වූ දා සිට සිදුවෙයි.
මේ අතර, බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියෙන් ඊශ්‍රායල රජයට චෝදනා එල්ල වී ඇත. ඒ, සටන් විරාමය මැද ඊශ්‍රායල රජය, පලස්තීන සිරකරුවන් නිදහස් කරන අතරතුරේ, ඊශ්‍රායල ආරක්ෂක අංශ ඒ හා සමාන පිරිසක්, අලුතින් අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමිනි. පසුගිය දින කීපය ඇතුළත අලුතින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර ජෙරුසලමේත්, බටහිර ඉවුරේත් පලස්තීන වැසියන් බව පැවැසෙයි.
තරුණයන්, කාන්තාවන් සහ ගැටවර වියේ දරුවන් එසේ අත්අඩංගුවට ගත් පලස්තීනුවන් අතරේ සිටින බව පලස්තීන පාලන අධිකාරිය පෙන්වා දී ඇත. ගාසා තීරය හමාස් සංවිධාන යටතේ පවතින අතර, බටහිර ඉවුර ඇත්තේ පලස්තීන පාලන අධිකාරිය යටතේය.
මේ අතර, ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, කඩා වැටුණු ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය යළි ශක්තිමත් නොකළොත්, ලෙඩ රෝග පැතිරෙනු ඇති බවත්, ඊශ්‍රායල බෝම්බවලින් මියගියාට වඩා වැඩි පලස්තීනුවන් පිරිසක් ලෙඩ රෝගවලින් මිය යනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.
“ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම අඩපණ වෙලා. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට පවා පහසුකම් ඇත්තේ නැහැ. නොමේරූ බිලිඳන්, ගැබිනි මවුවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාවකන් නැහැ. ඒ අතරතුරේ බෝවන රෝග ව්‍යාප්තියක් සිදුවෙනවා. එහෙයින් අඩපණ වුණු සෞඛ්‍ය පද්ධතිය කඩිනමින් ශක්තිමත් කළ යුතුයි.” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අඩ්හොම් ගෙබි්රයේසිස් පෙන්වා දී ඇත.
සටන් විරාමය ආරම්භ වීමට පෙර, ඊශ්‍රායල ගුවන් හමුදා ප්‍රහාර එල්ල කළේ ගාසා තීරයේ රෝහල් ඉලක්ක කර ගනිමිනි. ඒ, හමාස් සටන්කාමීන්, එම රෝහල්වල සිට, රෝහල්වල රෝගීන් මෙන්ම ආරක්ෂාව පතා ආ පලස්තීන සිවිල් වැසියන් ද මිනිස් පළිහක් ලෙස තබා ගෙන ඊශ්‍රායල හමුදාවට පහර දුන් බැවිනි. ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන 15,000 කි.
(ඒ.එෆ්.පී.)