සටන් විරාමය දින දෙකකින් දීර්ඝ කෙරේ
කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇති කරගත් සිවු දින තාවකාලික සටන් විරාමය අද (28) අවසන් වුණු නමුත්, තවත් දින දෙකක් සටන් විරාමය දීර්ඝ කිරීමට ඊශ්‍රායලය මෙන්ම හමාස් සංවිධානය ද එකඟත්වය පළ කළේය.
ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැනීමට කටාර් රාජ්‍යය මැදිහත් වූයේ ඇමෙරිාකවේ සහ ඊජිප්තුවේ ද සහාය ඇතිවය. ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. මේ වනවිට ගාසා තීරයේ පලස්තීනුවන්ට නොකඩවා ආධාර ලැබේ. ඒ, ඊජිප්තුව හරහාය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියෝ 1,200 ක් ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රහාරය අතරතුරේ, හමාස් සටන්කාමීහු ඊශ්‍රායලයේ සිටි 240 දෙනකු පැහැර ගෙන, ගාසා තීරයට රැගෙන ගියහ. ඊශ්‍රායලයේ සිටි විදේශිකයන් බොහෝ දෙනෙක් ද ඒ අතර සිටියහ. ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීමට පටන් ගත්තේ පැහැරගෙන ගොස් ප්‍රාණඇපයේ රඳවාගත් එම පිරිස මුදා ගැනීමේ අරමුණින්ය. ඊශ්‍රායල හමුදාවේ එම ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියෝ 14,500 ක් මියගියහ.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇතිකරගත් එකඟතාව සහ සටන් විරාමය අනුව, හමාස් සටන්කාමීන්ගේ ගඟණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කරයි. පසුගිය දින කීපය තිස්සේ මෙය සිදුවිය.
මේ වනවිට හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් (විදේශිකයන් ද ඇතුළුව) 50 කට වැඩි පිරිසකට නිදහස හිමි වී ඇතැයි පැවැසෙයි. ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 33 දෙනකු නිදහස් කර තිබේ. ඔවුන් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල ආරක්ෂක අංශ එම කුඩා දරුවන් සහ කාන්තාවන් නඩු විභාගලවලින් තොරව, බන්ධනාගාරගතව රඳවා තබාගෙන සිටියේ ඔවුන් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමිනි.
තාවකාලික සටන් විරාමය තවත් දෙදිනක් දීර්ඝ කිරීමත් සමඟ තම ප්‍රාණ ඇපයේ සිටින තවත් 20 දෙනකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කර ඇත. සටන් විරාමය දීර්ඝ කර ගැනීමට ඊශ්‍රායලය මෙන්ම හමාස් සංවිධානය ද තීරණය කිරීම සතුටට කරුණක් බව ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් පවසා ඇත.
(ඒ.එෆ්පී.)