ලිබියාවට බිම් බෝම්බ අවදානමක්



ජල ගැලීම්වලින් පීඩාවට පත් ලිබියාවේ ‘ඩෙර්නා’ නගර වැසියන්, බිම් බෝම්බ අවදානමකට මුහුණ දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බිම් බෝම්බ අවදානම මතුවී ඇත්තේ, සුනාමියක් සේ ‘ඩෙර්නා’ නගරයට කඩා වැදුණු සැඬ ජල පහර සමඟ, නගරය අවට වළලා තිබුණු බිම් බෝම්බ ගසාගෙනවිත් නගරයේ ගොඩ ගැසී ඇති බැවිනි.

‘ඩෙර්නා’ යනු මුහුද අද්දර පිහිටි නගරයකි. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට සටන් පැවැති අවදියේ, ‘ඩෙර්නා’ නගරය සන්නද්ධ කල්ලිවල බලකොටුවක් විය.

එම සන්නද්ධ කල්ලි නගරය වටේ බිම් බෝම්බ වළලා තිබුණි.  සැඬ ජල පහර සමඟ නගරයට ගොඩ ගසා ඇත්තේ එම බෝම්බය. බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට හෝ කිසිවකු නොමැති බව පැවැසෙයි.

අද ලිබියාව ලොව අස්ථාවර රාජ්‍යයක් ලෙස සැලකෙයි. රජයන් දෙකක් යටතේ නැගෙනහිර ලිබියාව සහ බටහිර ලිබියාව ලෙස ලිබියාව දෙකඩ වී ඇත. ලිබියාව අස්ථාවර වූයේ 2011 වසරේ කර්නල් මුවම්මාර් ගඩාෆිගේ ඝාතනයෙන් පසුවය.
අද වනවිට නැගෙනහිර ලිපියාව පාලනය කරනු ලබන්නේ ඇමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් ජාතීන්ගේ සහාය යටතේ පිහිටුවූ රජය විිසිනි. බටහිර ලිබියාව පාලනය කරන්නේ කැරැලිකාර හමුදා නායක කලීෆා හෆ්තාර්ය.
පසුගිය අගෝස්තු 10 වැනිදා ‘ඩැනියෙල්’ සුළි කුණාටුව සමඟ ලිබියාවට කඩා වැදුණි. මහ වැසි හේතුවෙන් ඩෙර්නා නගරයට  නුදුරින් ඉදි කළ වේලි දෙකක් පිරී, පුපුරා කැඩී ගියේය. ඒ සමඟ නිකුත් වුණු මහා ජල කඳ සුනාමියක් සේ ඩෙර්නා නගරයට කඩා වැදුණි.

‘ඩෙර්නා’ නුවර ජනගහනය 89,000 කි. සැඩ ජල පහරට හසුවීමෙන් මියගිය ගණන 11,300 ක් යැයි පැවැසෙයි. ලිබියාවේ නැගෙනහිර පළාත් පරිපාලන කටයුතු බාර සෞඛ්‍ය අමාත්‍ය ඔත්මාන් අබ්දෙල්ජාලී පවසා ඇත්තේ ඩෙර්නා නුවර පමණක් මියගිය ගණන 3,252 ක් බවය.

සැඬ පහරට නගර වැසියන් පමණක් නොව, නිවාස, මෝටර් රථ ආදිය ද මුහුද ගසාගෙන ගියේය. සැඬ පහරින් දිවි ගලවා ගැනීමට සමත් වුණු 30,000 ක පිරිසක් මේ වනවිට ආහාර සහ පානීය ජලය නොමැතිව පීඩාවට පත් වී සිටිති. කොලරාව, පාචනය ආදී රෝගවලින් ද මෙම වැසියන් පීඩාවට පත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ වනවිට ලිබියවට විදෙස් ආධාර ලැබීම ආරම්භ වී තිබුණි. ආධාර රැගත් එමිරේට්ස් ගුවන් යානා දෙකක්, ඉරාන ගුවන් යානයක් ලිබියාවේ බෙන්ගාසි නුවරට පැමිණි බව වාර්තා විය. බෙන්ගාසි නුවර ඇත්තේ ඩෙර්නා සිට කිලෝ මීටර් 300 ක් දුරිනි.

ඉතාලිය හෙලිකොප්ටර් යානා දෙකක් ඩෙර්නා නුවරට යවා ඇත. ඊට අමතරව බුල්ඩෝසර්, සහන කඳවුරු සහ පොම්ප ද ඩෙර්නා නුවරට යැවීමට පියවර ගෙන ඇති බව ඉතාලි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සෞදිය සහ කුවේටය ද ටොන් ගණනක ආධාර ලිබියාවට යවා ඇති අතර, ප්‍රංශය ජංගම රෝහලක් ඩෙර්නා නුවර ස්ථාපිත කිරීමට නියමිතය.


RECOMMEND POSTS