මුස්ලිම්වරුන්ගේ අප්රසාදය බයිඩන්ට
ඊශ්රායල පලස්තීන අර්බුදයේ දී, ඊශ්රායලයට කොන්දේසි විරහිතව සහාය ලබා දෙමින්, ගාසා තීරයට පහර දීමට ඉඩ දී, ගාසා තීරයේ මුස්ලිම් වැසියන් ඝාතනය කිරීමට ඉඩ දෙනවා යැයි ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්ට ඇමෙරිකාවේ මුස්ලිම් වැසියන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙයි.
මුස්ලිම් වැසියන් තරයේ පවසා ඇත්තේ ලබන 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩිමොක්රටික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බයිඩන්ට තමන් ඡන්දය ලබා නොදෙන බවය.
මේ අතර, සටන් විරාසය අවසන් වීමෙන් පසු, ඊශ්රායල හමුදාව දිගට හරහට යළිත් වරක් ගාසා තීරයට පහර දෙයි. ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 700 කට වැඩි යැයි පැවැසෙයි.
ඊශ්රායලය දිගින් දිගටම පහර දෙන්නේ නම්, තම ප්රාණ ඇපයේ සිටින ඊශ්රායල වැසියන් මුදා හරින්නේ නැති බව ගාසා තීරයේ හමාස් සංවිධානය පවසා තිබේ. මේ වනවිට ගාසා සිටී නගරයේ ඊශ්රායල හමුදා සෙබළුන් සහ පලස්තීන වැසියන් අතරේ ද ගැටුම් පවතින බව වාර්තා වේ.
ගාසා තීරයේ සිටින විදේශිකයන් ගණන 600 කි. ගැටුම් උත්සන්න වෙද්දී, ඔවුන් ගාසා තීරයෙන් ගෙන්වා ගැනීමට ඔවුන්ගේ රටවල් කටයුතු කර ඇතැයි ද පැවැසෙයි. මෙම වැසියන් බොහෝ දෙනා මානුෂීය ආධාර ලබා දීමට ගාසා තීරයට ගොස් සිටින පිරිස් බව ද පැවැසෙයි.
(අල් ජසීරා)