ගාසා රෝහල යට මීටර් 55 ක උමඟක්
ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.
අල් ෂිෆා යනු ගාසා තීරයේ විශාලතම රෝහලය. පසුගිය දින කීපය පුරාවට ඊශ්‍රායල හමුදාව මෙම රෝහල වට කරමින් පහර දුන්නේ රෝහලේ රෝගීන්, නොමේරූ බිලිඳන් සහ රෝහලේ ආරක්ෂාව ලැබ සිටි පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරිනි. ප්‍රහාර හමුවේ රෝහලේ කටයුතු මුළුමනින්ම අඩපණය විය.
ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ, අල් ෂිෆා රෝහල යට මීටර් 55 ක් දිග, මීටර් 10 ක් පළල උමං මාර්ගයක් ඇති බවය. රෝහල වට කර පහර දීමෙන් පසු, ඊශ්‍රායල හමුදාව මේ වනවිට රෝහල ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇතැයි ද පැවැසෙයි.
හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා සමඟ ගැටෙමින්, මෙම රෝහලේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේ, රෝහලේ රෝගීන් සහ රෝහල තුළ සැඟවී ආරක්ෂාව පැතූ සෙසු පලස්තීන වැසියන් මිනිස් පළිහක් ලෙස රඳවා ගනිමිනි.
කෙසේ නමුත් අල් ෂිෆා රෝහලට යටින් හමාස් උමඟක් ඇතැයි ඊශ්‍රායලය කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශ අධ්යක්ෂ මුනීර් එල් බොරූෂ් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ඊශ්‍රායලය, අල් ෂිෆා රෝහලට එල්ල කළ ප්‍රහාරවලින්, පලස්තීන සිවිල් වැසියන් සහ රෝහලේ ප්‍රතිකාර ලැබූ බිලිඳුන් මියයෑම වසං කිරීමට ඊශශ්රායලය බොරු කියන බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශ අධ්යක්ෂවරයා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මේ අතර, ඊශ්‍රායල හමුදා පහර දෙද්දී, අල් ෂිෆා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සිටි බිලිඳන් 39 දෙනකු ගාසා තීරයේ දකුණු කොටසට රැගෙන යෑමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් කටයුතු කර තිබේ.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත පහර දීමට පටන් ගත්තේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර මාලාවකින් පසුවය. ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි පිරිසක් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපකරුවන් බවට පත් වූයේ ද එම ප්‍රහාරයෙන් පසුවය.
ඊශ්‍රායල හමුදා ගුවනින් පමණක් නොව, ගොඩබිමින් ද ගාසා තීරයට පහර දෙන්නේ, ගාසා තීරයේ හමාස් සංවිධානය මුලිනුපුටා දමා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය.
ඊශ්‍රායල හමුදා එල්ල කරන ප්‍රහාරවලින් මේ වනවිට ගාසා පලස්තීනුවන් 13,000 ක් මියගොස් ඇතැයි ද පැවැසෙයි. හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ පහරදීම්වලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,200 ක් පමණි.
සටන් විරාමයකට යමින්, ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්නැයි ජාත්‍යන්තරයෙන් දිගින් දිගටම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට බලපෑම් එල්ල වෙයි. එසේ වුවත්, සටන් විරාමයකට යෑමට තමන් කිසිසේත් සූදානම් නැතැයි නෙදන්යාහු අවධාරණය කර තිබේ.
මේ අතර ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළොත්, ඊශ්‍රායල හමාස් යුද්ධය කඩිනමින් අවසන් වනු ඇති බවය.