ඊශ්‍රායල හමාස් සටන් විරාමය හෙට අවසන් වෙනවා



කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් සිවු දින තාවකාලික සටන් විරාමය, හෙට (28) අවසන් වීමට නියමිතය.

සටන් විරාමය තවත් ඉදිරියට ගෙන යන්නැයි ඇමෙරිකා ජනාධිපති ඇතුළු ලෝක නායකයන් බොහෝ  දෙනකු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හෝ හමාස් සංවිධානය හෝ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හෙට (27) ගාසා තීරයට ගොස්, එහි රැඳී සිටින ඊශ්‍රායල හමුදා සෙබළුන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවේය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට සටන් වදින බවත්, ඊශ්‍රායලයට හරස් වීමට කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේය.

ඊශ්‍රායල රජය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇති කරගත් සිවුදින සටන් විරාමයට සමගාමීව, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීන සිරකරුවන් 150 කට නිදහස ලබා දීමට නියමිතය. හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 240 දෙනාගෙන් 50 දෙනකු නිදහස් කිරීමට නියමිතය.

හෙට (27) වනවිට ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 39 දෙනකුට නිදහස ලබා දී තිබුණු අතර, හමාස් සටන්කාමීන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 41 දෙනකු නිදහස් කර තිබුණි. නිදහස ලැබූවන් හුවමාරුව සිදුවන්නේ රතු කුරුස සංවිධානයේ මැදිහත් වීමෙනි.

සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය සිකුරාදා (24) ය. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, සෙසු බටහිර රාජ්‍ය නායකයන් ද කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව ද හමාස් සංවිධානයෙන් මෙන්ම ඊශ්‍රායලයෙන් ද ඉල්ලා ඇත්තේ සටන් විරාමය දීර්ඝ කරන ලෙසය.


RECOMMEND POSTS