අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙයි



රජයේ තීරණවලට බලපෑම් කළ නොහැකි අයුරින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල කප්පාදු කර, නව අධිකරණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

නව පනත් කෙටුම්පත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී 64 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය දුන්හ. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ගණන 120 කි.

පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ අන්ත දක්ෂිණාංශික රජය ගන්නා තීන්දු තීරණවලට ශ්‍රේෂ්ඨාධිකරණය හරස් වුවහොත්, පාර්ලිමේන්තු ඡන්ද විමසුමක් පවත්වා ඊට විරුද්ධ වීමට හැකියාව ලැබේ.

නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ රජය සූදානම් වූයේ මීට මාස කීපයකට පෙර සිටය. එදා සිට මේ දක්වා ජෙරුසලමේත් ටෙල් අවීව් නුවර දැවැන්ත විරෝධතා පැවැත්වෙයි. දස දහස් ගණනින් ඊශ්‍රායල වැසියෝ ඊට එක් වී සිටිති. විරෝධතා සංවිධානය කරන්නේ විපක්ෂ ක්‍රියාකාරීන්ය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමඟ විරෝධතා උත්සන්න විය. විරෝධතාකරුවෝ මාර්ග හරස් කරමින් විරෝධතා පවත්වද්දී, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය මැදිහත් විය. සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණු බව ද වාර්තා වේ.

නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමත්, ඊට එරෙහිව ජනතා නැගී සිටීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේ, පනත් කෙටුම්පත පසම්මත කර ගැනීමේ දී හදිස්සි නොවී, ජනමතයට ද ගරු කරමින් තීන්දු තීරණ ගැනීම සුදුසු බවය. යුදෙව් රාජ්‍යයක් වන ඊශ්‍රායලය මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ සමීපතම මිතුරාය.


RECOMMEND POSTS