‘චන්ද්‍රයාන් 3’ සඳට ගිය හැටි



‘චන්ද්‍රයාන් 3’ Chandrayaan-3 ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) විද්‍යාඥයන්ගේ නවමත සඳ ගවේෂණ මෙහෙයුමය. ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, පසුගිය ජූලි 14 වැනිදා පෘථිවියෙන් පිටත් විය.

‘චන්ද්‍රයාන් 3’ පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark-III රොකට්ටුවය. ‘චන්ද්‍රයාන් 3’ යානය, පසුගිය අගෝස්තු 5 වැනිදා සඳුගේ කක්ෂයට පිවිසියේය.මේ සටහන සමඟ පළ වන්නේ ‘චන්ද්‍රයාන් 3’ සඳට ළං වෙද්දී ගත් ඡායාරූපයකි.

‘චන්ද්‍රයාන් 3’ යානය සඳට ගොඩබෑමට නියමිතව ඇත්තේ අගෝස්තු 23 වැනිදාය. ‘චන්ද්‍රයාන් 3’ GSLV රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවියෙන් පිටවී ගියේ ජූලි 14 වැනිදා නම්, එය සඳුගේ කක්ෂයට පිවිසියේ අගෝස්තු 5 නම්, යානයට සඳට යෑමට දින 40 කට වඩා ගත වී ඇත. ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ සඳ ගමනට ගත වූයේ දින 4 කි. එසේ නම් මෙතරම් දවසක් ‘චන්ද්‍රයාන් 3’ යානය මොකද කළේ? ‘චන්ද්‍රයාන් 3’ ට සඳ බලා යෑමට වැඩි කාලයක් ගත වූයේ ඇයි?

‘ඇපලෝ 11’ ද ඇතුළු සෙසු ‘ඇපලෝ’ මෙහෙයුම්වලදී, චන්ද්‍ර යානා අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කළේ ‘සැටර්න් V’ Saturn V නමැති ප්‍රබල රොකට්ටුවෙනි. ‘සැටර්න් V’ එසේ මෙසේ රොකට්ටුවක් නොවිණි. ‘සැටර්න් V’ ආධාරයෙන්, චන්ද්‍ර යානා සඳට විදීම සිදුවූයේ Translunar Injection නමැති ක්‍රමයටය. ‘ඇපලෝ’ මෙහෙයුම්වලදී, ‘සැටර්න් V’ රොකට්ටුවෙන් ලැබුණු ‘තල්ලුවෙන්’ චන්ද්‍ර යානා කෙළින්ම සඳ වෙත යෑම සිදුවිය. දින 4 කින් ගමන සිදුවූයේ ඒ අනුවය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark-III රොකට්ටුව, ‘සැටර්න් V’ තරම් ප්‍රබල එකක් නොවෙයි. ඉන්දීය විද්‍යාඥයන්, යළි යළි භාවිතයට ගත හැකි GSLV රොකට්ටුව, යොදා ගැනෙන්නේ චන්ද්‍රිකා පෘථිවි කක්ෂයට තල්ලු කළ රැඳවීමටය. GSLV රොකට්ටුව ‘චන්ද්‍රයාන් 3’ යානය රැගෙන ගොස් පෘථිවි කක්ෂයට තල්ලු කළේය.

 ‘චන්ද්‍රයාන් 3’ ඉන්පසු පෘථිවි කක්ෂයේ රැඳෙමින්, පෘථිවිය වටා ගමන් කිරීම ඇරැඹුවේය. ඒ යානයේ ඇන්ජින් විටින් විට පණ ගන්වමින්, වේගය වැඩි කර ගනිමිනි. පෘථිවියේ ගුරුත්ව බලය යොදා ගනිමින්, කැරැකෙමින්, ඉලිප්සාකාර ගමන් මාර්ගයක යමින් ‘චන්ද්‍රයාන් 3’ අවශ්‍ය ප්‍රවේගය ලබා ගත්තේය. ඉන්පසු එය සඳ බලා ගමන් ඇරැඹුවේය. දින 40 කට පසු යානය, අගෝස්තු 5 වැනිදා සඳුගේ කක්ෂයට ඇතුළු විය.

‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය මවු යානයක් වැනිය. ඒ තුළ පතිත කරවන යානයක් සහ රෝවර් යානයක් ඇත. රෝවර් යානය ඇත්තේ පතිත කරවන යානය තුළය. පතිත කරවන යානය ‘වික්‍රම්’ යනුවෙන් ද රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS