ස්පාඤ්ඤයෙන් හමුවුණු කැස්බෑ යෝධයා



මේ යෝධ කැස්බෑවකු ගැන කතාවකි. හරියටම කීවොත්, මහ දැවැන්ත කැස්බෑවකු ගැන කතාවකි. මේ කැස්බෑවා අද ජීවතුන් අතර නැත. විද්‍යාඥයන්ට හමුවී ඇත්තේ, මේ දැවැන්තයාගේ පොසිල අස්ථි කොටස් පමණි. පොසිල අස්ථි හමුවි ඇත්තේ ස්පාඤ්ඤයෙනි. කාලනිර්ණය කිරීමේ පරික්ෂණ අනුව, පැහැදිලියි; මේ දැවැන්ත කැස්බෑවා ජීවත් වූයේ මීට අවුරුදු මිලියන 83 කට පෙරය.

මේ දැවැන්තයා, මීට පෙර සත්ව විද්‍යාඥයන් දැන නොසිටි, නව සාගර කැස්බෑ විශේෂයක සාමාජිකයෙකි. කැස්බෑවුන් වර්ග දෙකකි. ඒ, සාගර කැස්බෑවුන් හෙවත් කරදිය කැස්බෑවුන් සහ මිරිදිය කැස්බෑවුන් ආදී වශයෙනි. හමුවුණු මේ දැවැන්තයා සාගර එසේත් නැතිනම් මුහුදු කැස්බෑවෙකි. මෙම දැවැන්තයා අතීතයේ සාගරයේ ජීවත් වූ විශාලතම කැස්බෑවුන් විශේෂ අතරට වැටෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ දැවැන්ත සාගර කැස්බෑවාගේ පොසිල අස්ථි සොයා ගැනීමට හැකි වූයේ ස්පාඤ්ඤයේ ‘ඔටෝනොමා දෙ බාර්සිලෝනා’ පර්යේෂකයන්ටය. ඔවුන් මේ දැවැන්තයා නම් කර ඇත්තේ ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ Leviathanochelys Aenigmaticaයනුවෙනි. කැස්බෑවාගේ දිග මීටර් 3.74 කි.

‘ඔටෝනොමා දෙ බාර්සිලෝනා’ සම්බන්ධ ලිපි පළ වී ඇත්තේ ‘සයන්ටිෆික් රිපෝට්ස්’ නමැති විද්‍යා සඟරාවේය. ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ යනුවෙන් මෙම කැස්බෑවා නම් කිරීමට හේතුව විද්‍යාඥයන් පැහැදිලි කර තිබේ. ‘ලෙවයතන්’ Leviathan යනු බයිබල් කතාවල සඳහන්, සියල්ලනැසියහැකිආකාරයේ දැවැන්ත සාගර ජීවියෙකි. කැස්බෑවාදැවැන්තයකුබැවින්, ‘ලෙවයතන්’ යන නම ඌට සුදුසු යැයි විද්‍යාඥයන් කල්පනා කරන්න ඇත. ‘සෙලිස්’ Chelys යනු ග්‍රීක භාෂාවෙන්, ලතින් භාෂාවට එක් වුණු වදනකි. එහි අර්ථය ගැහැනු කැස්බෑවා යන්නය. 

‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ මෙතෙක් ලොව හමුවුණු විශාලතම සාගර කැස්බෑවා නම් නොවෙයි. එසේ වුවත් යුරෝපයෙන් මෙතෙක් හමුවුනු විශාලතම කැස්බෑවා ලෙස ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ සැලකිය හැකිය. මීට පෙර පොසිල විද්‍යාඥයන්ට, ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ කැස්බෑවාටත් වඩා දැවැන්තයකු හමුවී තිබේ. මෙම කැස්බෑවා නම් කර ඇත්තේ ‘ආචෙලෝන්’ යනුවෙනි. මෙම සාගර කැස්බෑවාගේ දිග මීටර් 4.6 ක් බව පැවැසෙයි. ‘ආචෙලෝන්’ ජීවත් වී ඇත්තේ ක්‍රිටෛයිසීය යුගයේ අවසන් කාලයේය. ඒ, වසර මිලියන 100.5 සිට 66 දක්වා කාලයේය. ‘ආචෙලෝන්’ කැස්බෑවාගේ බර ටොන් 3.2 කි.

‘සයන්ටිෆික් රිපෝට්ස්’ සඟරාවට ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ කැස්බෑවා ගැන තතු පහදා ඇත්තේ ඇන්ජෙල් එච්. ලූජාන් සහ ඇඅල්බට් සේල්ස් ඇතුළු ස්පාඤ්ඤ විද්‍යාඥයන් කණ්ඩායමය. මෙම පිරිස 2016 වසරේ සිට පසුගිය 2021 වසර තෙක් සිදු කළ කැණීම් සහ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස වයඹදිග ස්පාඤ්ඤයේ, ‘කැල් ටොරාඩේස්’ පළාතෙන් ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ පොසිල අස්ථි කොටස් හමුවී ඇත. පොසිල අස්ථි කොටස් අතරේ, කැස්බෑවාගේ උකුල් අස්ථිය විනාශ නොවී පැහැදිලිව තිබුණි. කැස්බෑවාගේ කටුවේ කැබලි ද හඳුනා ගැනීමට හැකිවන ආකාරයට විනාශ නොවී තිබුණි.

පර්යේෂණවලින් අනතුරුව, ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ කැස්බෑවා අයත් වන්නේ ‘ටෙස්ටුඩීන්’ නමැති පවුලට අයත් වන බව විද්‍යාඥයෝ පවසති. ‘ටෙස්ටුඩීන්’ පවුලේ සාමාජිකයන් ජීවත් වූයේ ‘කැම්පේනියන්’ අවදියේය. ඒ, මිලියන 83.6 සිට 72.1 තෙක් කාලයේය. එයින් පැහැදිලි වන්නේ ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ කැස්බෑවා ද ‘ආචෙලෝන්’ කැස්බෑවා ද එකම කාලයක සාගරයේ ජීවත් වන්න ඇත යන්නය. කෙසේ නමුත් මෙම කැස්බෑවුන් දෙදෙනා පැහැදිලිව එකිනෙකට වෙනස් විශේෂ දෙකක් යැයි විද්‍යාඥයෝ අවධාරණය කරති.
 

‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ කැස්බෑවාගේ හමුවුණු උකුල් අස්ථිය, විශේෂ අස්ථි සම්බන්ධ වී ඇති බව අධ්‍යයනයේදී පෙනී ගොස් තිබේ. මෙම විශේෂ අස්ථි ස්වසන පද්ධතිය හා සම්බන්ධ යැයි පැවැසෙයි. එයින් අදහස් වන්නේ, මෙම කැස්බෑවුන්ට, ගැඹුරු සාගර පතුළට පිහිනමින්, ගැඹුරු පතුලේ වැඩි කාලයක් ගත කිරීමට හැකිවීමය.

මෙම නව සොයා ගැනීම් අනුව, නව ක්‍රමවේදයකට අනුව, පුරාණ සාගර කැස්බෑවුන් වර්ග කිරීමට සිදුවනු ඇතැයි ද විද්‍යාඥ කණ්ඩායම පවසා ඇත්තේ‍, ඔවුන්ගේ සොයා ගැනීම ගැන මහත් ආඩම්බරයෙනි. ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ කැස්බෑවාගේ උකුල් අස්ථිය, ‘ආචෙලෝන්’ කැස්බෑවාගේ උකුල් අස්ථිවය වඩා පළලින් වැඩිය. එහෙයින්, ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ කැස්බෑවාගේ උදර මංශපේෂීන් පුළුල්ව පිහිටන්න ඇත. වෙනත් වචනවලින් කීවොත්, ‘ලෙවයතනෝසෙලිස් එනිග්මැටිකා’ කැස්බෑවාගේ උදර මාංශපේෂීන්, ‘ආචෙලෝන්’ කැස්බෑවාගේ උදර මාංශපේෂීන්වලට වඩා විශාලය.

වර්තමානයේ දකින්න ලැබෙන සාගර කැස්බෑ විශේෂ ගණන 7 කි. ඔවුන්ගෙන් විශාලතම කැස්බෑ විශේෂය ‘ලෙදර්බෑක්’(දාර කැස්බෑවා)ය. මොවුන් මීටර් 1.8 ක් විශාලය. බර කිලෝ ග්‍රෑම් 680 කි. අනෙක් කැපී පෙනෙන කැස්බෑ විශේෂ ලෙස සැලකිය හැක්කේ, ‘හෝක්ස්බිල්’, ‘ලොගර්හෙඩ්’ (ඔලුගෙඩි කැස්බෑවා හෙවත් කණ්ණාඩි කැස්බෑවා) යන කැස්බෑවන්ය. කැස්බෑවුන් බිත්තර දමන්න පැමිණෙන්නේ ඔවුන් උපන් මුහුදු වෙරළටය. කැස්බෑ අම්මකු වරකට බිත්තර 160 ක් දමයි.

ඩේලිමේල් ඇසුරිනි

RECOMMEND POSTS