සමුගන්න සැරැසෙන නිවුන්නු



අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ විශ්වය ගවේෂණය කරමින් ඈතට ඈතට යන නිවුන්නු දෙදෙනකු සිටින බව ඔබ දන්නවාද? එයාලා මේ වනවිට සිටින්නේ පෘථිවියේ සිට සැතපුම් බිලයන ගණනක් දුරිනි. මේ නිවුන්නු දෙදෙනා ‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ රොබෝ ගවේෂණ යානාය.

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්ජිනේරුවන්, මේ රොබෝ ගවේෂණ යානා නිර්මාණය කළේ සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයන් ගවේෂණයටය. ඒ, අවුරුදු පහක් වැනි කෙටි කාලයක් සඳහාය. කෙසේ නමුත්, ඉන්ජිනේරුවන් ද මවිත කරමින්, ‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ අප සෞරග්‍රහ මණ්ඩලය අද්දරට ගියේය. ඉන්පසු සෞරග්‍රහ මණ්ඩලය අභිබවා අප කිසිවක් නොදන්නා විශ්වයේ ඈතට ගමන් කිරීම ආරම්භ කළේය. ඒත් අවුරුදු ගණනාවකට පසු, ආයු කාලය අවසන් වෙමින් පවතින බැවින්, නිවුන්නු දෙදෙනාට සමු දීමට සිදුවනු ඇති බව නාසා ආයතනය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කර තිබේ.

සෑම වසර 176 කට වරක්ම අප සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයන් ​ලෙස සැලකෙන බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් එක එල්ලේ පිහිටයි. අවසන් වරට එවැනි ග්‍රහ පිහිටීමක් සිදුවූයේ 1977 වසරේදීය. මෙම ග්‍රහ පිහිටීම වාසියක් කර ගනිමින්, නාසා ආයතනය ඊට වසර ගණනකට පෙර සිට බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් ගවේෂණයට රොබෝ යානා දෙකක් නිර්මාණය කළේය. ‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ යනු ඒවාය. 1977 අගෝස්තු මාසයේත්, සැප්තැම්බර් මාසයේත්  ‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ අභ්‍යවකාශයට පිටත් කර හැරීම ඒ අනුව සිදුවිය. යානා විශ්වයේ ඈතට ඈතට ගමන් කළේ බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයන්ගේ ගුරුත්ව බලයේ ආධාරයෙනි.

යානා විශ්වයේ රහස් සෙවීමට පෘථිවියෙන් නික්ම ගියේ 1977 වසරේ ඇමෙරිකවේ ෆ්ලොරිඩා​ ප්‍රාන්තයේ කැනවරල් තුඩුවෙනි. එක් යානයක් අගෝස්තු මාසයේත්, අනෙක මාසයකට පසු සැප්තැම්බර් මාසයේත් අභ්‍යකාශයට යැවීම සිදුවිය. ‘වොයේජර් 1’ සහ ‘වොයේජර් 2’ අතරින්, පළමුවෙන් අභ්‍යවකාශයට යැවුණේ ‘වොයේජර් 1’ නොවෙයි, ‘වොයේජර් 2’ යානයයි. ඔබ මේ සටහන කියවද්දී, ‘වොයේජර් 1’ පෘථිවියේ සිට සැතපුම් බිලියන 14.5 දුරින් ගමන් කරමින් සිටී. ‘වොයේජර් 2’ යානය ඇත්තේ පෘථිවියේ සිට සැතපුම් බිලියන 12 ක් දුරිනි. ඒ අනුව නාසා ඉන්ජිනේරුවන්ට, යානාවලට යවන පණිවුඩ, යානාවලට ලැබෙන්නේ දින දෙකක් ගතවීමෙන් පසුවය. යානාවලින් නාසා විද්‍යාඥයන්ට පණිවුඩ ලැබෙන්නේ ද එසේම දින දෙකක් ගතවීමෙන් පසුවය.

“වොයේජර් යානා නිර්මාණය කෙරුණේ වසර පහක වගකීම් සහතිකයක් ඇතිවයි. ඒත් අවුරුදු 44 ක් සහ මාස 6 ත් පුරාවට වොයේජර් යානා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන වොයේජර් යානා නිර්මාණය කළ ඉන්ජිනේරුවන්ටත් පුදුමයි. ඒත් තව වසර පහක් හෝ හයක් නිවුන්නු දෙදෙනා ක්‍රියාකාරීව පවත්වා ගැනීමට නම්, අපට සිදුවෙනවා එහි ප්‍රධාන නොවන පද්ධති කීපයක් අක්‍රිය කරන්න.” යැයි නාසා භෞතික විද්‍යාඥ රැල්ෆ් මැක්නට් මාධ්‍ය හමුවේ පැහැදිලි කරයි. රොබෝ යානාවල පද්ධති මෙසේ එකිනෙක අක්‍රිය කරද්දී එහි ආයු කාලය අඩු වෙයි. ‘වොයේජර්’ නිවුන්නු සමුගැනීම ඒ අනුව සිදුවනු ඇත. කෙසේ නමුත් නාසා ඉන්ජිනේරුවන් බලාපොරොත්තු වන්නේ ප්‍රධාන නොවන පද්ධති අක්‍රිය කර වසර 2030 තෙක් ‘​වොයේජර්’ යානා ක්‍රියාකාරීව තබා ගැනීමටය.

මීට පෙර ද නාසා ඉන්ජිනේරුවන්, මේ අයුරින් ‘වොයේජර්’ යානාවල වැදගත් නොවන පද්ධති අක්‍රිය කර තිබේ. වසර 44 කට වැඩි කාලයක් ආයුෂ රඳවා ගැනීමට යානා සමත් වූයේ ද ඒ අනුවය. මේ වනවිට ‘වොයේජර් 1’ යානය සතුව ක්‍රියාකාරීව ඉතිරි වී ඇත්තේ පද්ධති 4 ක් පමණි. ‘වොයේජර් 2’ යානය සතුව ඉතිරි වී පද්ධති පහකි. ‘වොයේජර්’ යානා බල ගැන්වෙන්නේ, විකිරණශීලී සමස්ථානික තාප විදුලිය ජනක Radioisotope Thermoelectric Generators යන්ත්‍රවලිනි. මෙම විදුලිය ජනත යන්ත්‍ර බල ගැන්වෙන්නේ දිරාපත් වන ප්ලූටෝනියම් ගෝලවල තාපයෙනි. සෑම වසරකම, විකිරණශීලී සමස්ථානික තාප විදුලිය ජනක යන්ත්‍රවලින් උද්පාදනය වන විදුලිය ප්‍රමාණය සෑම වසරකටම වරක් වොට් 4 බැගින් අඩුවී යයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘වෙයේජර්’ යානාවල උපාංග එකින්එක අක්‍රිව කර දැමීම සිදුවෙයි.

කලින් සඳහන් කළ පරිදි, බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් සැල​කෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයන් ලෙසය. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා ලෙස සැලකෙන්නේ බෘහස්පතිය. ‘වොයේජර්’ යානා බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් ඉතාමත් හොඳින් ගවේෂණය කළේය. එම ග්‍රහයන්ගේ සුවිශේෂී වළලු පද්ධතිය සහ චුම්බක ක්ෂේත්‍ර ගවේෂණය කළේය. ඊට අමතරව, ග්‍රහයන්ගේ චන්ද්‍රයන් 48 දෙනා ද ගවේෂණය කළේය.

බෘහස්පති සහ සෙනසුරුගේ චන්ද්‍රයන් සමීපව ගවේෂණය කළේ ‘වොයේජර්’ ​යානාය. බෘහස්පතිගේ ‘අයිඕ’ (Io) චන්ද්‍රයාගේ සක්‍රීය යමහල් (ගිනිකදු) ඇතැයි මනුෂ්‍ය වර්ගයාට පෙන්වූයේ සහ සෙනසුරුගේ වළලුවල ස්වභාවය අවබෝධ කර ගැනීමටත් අපට උදවු කළේ ‘වොයේජර්’ යානාය. නෙප්චූන් සහ යුරේනස් ගවේෂණයට ගිය එකම ගවේෂණය යානය වන්නේ ද ‘වොයේජර් 2’ ය. තාක්ෂණය දියුණු වුවත්, තවමත් පෘථිවියෙන් කිසිදු ගවේෂණ යානයක් යුරේනස් සහ නෙප්චූන් ගවේෂණයට ගොස් නැත. අප යුරේනස් සහ නෙප්චූන් ගැන දන්නේ ‘වොයේජර් 2’ අනාවරණය කළ දේ පමණි.

පෘථිවියෙන් නික්මී, අභ්‍යවකාශ ගමන ආරම්භ කර, සැතපුම් මිලියන 7.25 ක දුරක් ගිය ‘වොයේජ්ර් 1’ රො​බෝ යානය, එහි කැමරාව පෘථිවිය දෙසට යොමු කළේය. එදා පෘථිවියත් සඳුත් එකට ඇති ඡායාරූපයක් ‘වොයේජර් 1’ කැමරාවේ සටහන් විය. පෘථිවිය සහ සඳ එකට ඇති අයුරින් ගත් පළමු මෙන්ම එකම ඡායාරූපය වන්නේ මෙයයි. 1990 පෙබරවාරි 14 වැනිදා යුරේනස් පසු කර යද්දී, ‘වොයේජර් 1’ යළිත් පෘථිවිය ඡායාරූපය නැගුවේය. එම ඡායාරූපයේ පෘථිවිය දිස්වන්නේ පුංචි තිතක් ලෙසය. තාරකා විද්‍යාඥ කාර්ල් සගාන් කෝනෙල් විශ්ව විද්‍යාලයේ පැවැති දේශනයකදී මෙම ඡායාරූපය පෙන්වමින් ‘පුංචි නිල් තිත’ ලෙස පෘථිවිය හැඳින්වූයේය. ‘බලන්න. මේ පුංචි තිත. මේ පුංචි තිත තමයි අපේ නිවහන. ​අපි ඉන්නේ මෙතැන. මේ මහා විශ්වයේ අපි ඉන්නේ මෙතැන. අපි, අපේ ආදරණීයයන් ඉන්නේ මෙතැන. අප ජීවත් වන්නේ මියයන්නේ මෙතැන’ යනුවෙන් කාර්ල් සගාන් එදා කළ දේශනය අතිශය ජනප්‍රිය විය.

‘වොයේජර්’ නිවුන්නුගේ අරමුණ ග්‍රහලෝක සහ චන්ද්‍රයන් පසු කරමින් සෞරග්‍රහ මණ්ඩලය ගවේෂණය පමණක් නොවෙයි, පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටින්නේ නම්, ඔවුන් හා සම්බන්ධ වීමට ද ‘වොයේජර්’ නිවුන්නු සූදානමින් සිටී. ‘වොයේජර්’ යානාවල රන් අලේපිත තඹ තැටියක් අන්තර්ගතය. ​පෘථිවියේ ජීවය ගැනත්, පෘථිවියේ ජෛව විවිධත්වය ගැනත්, සංස්කෘතිය ගැනත් විස්තර ගීත මේ තැටියේ අඩංගුවෙයි. අපට වඩා හෝ බුද්ධිමත් ජීවීන් විශ්වයේ කොතැනක හෝ සිටින්නේ නම්, ඔවුන්ට මෙම තැටිය හමුවී එහි ඇති පෘථිවියේ හඬ අසන්න ලැබුණොත්, දසුන් දකින්න ලැබුණොත් ඔවුන් පෘථිවියේ අප හා සම්බන්ධ වනු ඇතැයි යන්න නාසා ආයතනයේ අපේක්ෂාව වී තිබේ.

අප සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝක අභිබවා ගිය, මිනිසා විසින් නිපදවනු ලැබූ තෙවැනි සහ සිවුවැනි රොබෝ ගවේෂණ යානා ලෙස ‘වොයේජර්’ නිවුන්නු සැලකෙයි. නාසා ආයතනය අභ්‍යවකාශයට යැවූ ‘පයනියර් 10’ සහ ‘11’ ගවේෂණ යානා, හිරුගේ ගුරුත්ව බලය උපයෝගී කර ගනිමින්, ‘වොයේජර්’ පසු කළේය. කෙසේ නමුත් 1998 වසරේ පෙබරවාරි 17 වැනිදා ‘වෙයේජර් 1’ යානය, ‘පයනියර් 10’ පසු කළේය. ඒ, මිනිසා නිපදවූ අභ්‍යවකාශයේ වැඩිම දුරකට ගිය ගවේෂණ යානය බවට පත් වෙමිනි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS