සඳේ පා පන්දු තරගයක්



අප ලෝකයේ එනම් පෘථිවියේ ජනප්‍රියතම ක්‍රීඩාව පා පන්දුය. පා පන්දු යනු උමතුවකි. පෘථිවියෙන් පිට පාපන්දු තරගයක් පැවැත්විය හැකිද? ඇත්තටම මෙය හොඳ ප්‍රශ්නයකි. ‘අයි.ඊ.ටි’ ඉන්ජිනේරු තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන්ට අනුව නම්, එය කළ හැකිය. විද්‍යාඥයන්ට අනුව, සඳ මත පාපන්දු තරගයක් පැවැත්වීමට හැකිවනු ඇත්තේ 2023 වසරෙන් පසුවය.

මිනිසා පළමුවෙන් සඳට ගියේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ 11 මෙහෙයුම යටතේය. ‘ඇපලෝ 11’ සඳ ගමන සිදුවූයේ 1969 වසරේ ජූලි 16-20 තෙක් කාලයේය. ඒ අනුව, මිනිසා සඳට පය තබා මේ වනවිට වසර 54 ක් සපිරෙයි. ‘අයි.ඊ.ටි’ විද්‍යාඥයන්ට අනුව, 2023 වසරෙන් පසු සඳ මතුපිට පැවැත්වෙන පාපන්දු තරගයක්, පෘථිවියේ පැවැත්වෙන පාපන්දු තරගයකට වඩා හාත්පසින් වෙනස්, හරිම අපූරු අත්දැකීමක් වනු නිසැකය. ගුරුත්ව බලය අඩු, වායු ගෝලයක් නැති, නිසල සඳ මත පාපන්දු තරගයක් පවත්වනවා නම්, පාපන්දු තරග නීතිරීති වෙනස් කිරීමට ද සිදුවනු ඇත.

සාමාන්‍යයෙන් මිනිත්තු 90 ක් පුරා පැවැත්වෙන පා පන්දු තරගයක්, සඳ මතුපිට දී නම්, මිනිත්තු 10 බැගින්, තරගවාර 4 ක් යටතේ පැවැත්වීමට කටයුතු කරන බව ‘අයි.ඊ.ටි’ ආයතනය පැහැදිලි කර තිබේ. සෑම තරගවාරයක් අතරතුරේම ගගනගාමී ඇඳුම් කට්ටලවලින් සැරැසුණු ක්‍රීඩකයන්ට මිනිත්තු 20 ක විවේක කාලයක් ද ලැබෙනු ඇත.

සාමාන්‍ය ගගනගාමීන් පලඳින ඇඳුම් වෙනුවට, ක්‍රීඩකයන්ට විශේෂිත සැහැල්ලු ඇඳුම් කට්ටල සහ බූට් සපත්තු නිර්මාණය කෙරේවි. මෙම සැහැල්ලු ඇඳුම් නිර්මාණය වන්නේ ඇඳුම් කට්ටලයේ ඇතුළත සිසිලස සලසන අන්දමිනි.

පාපන්දු තරගයට විශේෂිත පන්දුවක් ද නිපදවෙනු ඇති අතර, එම පන්දුව නිපදවීම සිදු කරන්නේ ‘නෙක්ස්ට් ජෙන් ඒරෝජෙල්’ නමැති සමාගමය. තරගය පැවැත්වෙන ක්‍රීඩා පිටිය සඳ මතුපිට නිර්මාණය කිරීම සිදු කරනු ලබන්නේ ලේසර් තාක්ෂණයෙනි.

තරගයේ විනිසුරුකරුවන් ‘හොලග්‍රෑම්’ තාක්ෂණයෙන් නිර්මාණය වන විනිසුරුකරුවන්ය. ගුරුත්ව බලය අඩු බැවින් සහ ක්‍රීඩකයන් ක්‍රීඩා කරද්දී එහෙට මෙහෙට විසිවන බැවින් ‘හොලග්‍රෑම්’ විනිසුරුකරුවන් යොදා ගැනීම සුදුසු වනු ඇත. නැතිනම් ක්‍රීඩකයන් සහ විනිසුරුකරුවන් අතර ගැටීම් සිදුවනු නිසැකය. තරගය අතරතුරේ රතු කාඞ්පත්, කහ කාඞ්පත් නිකුත් කිරීම ද ‘වර්චුවල්’ තාක්ෂණයෙන් සිදුවෙයි. ඒක හරියට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක සිදුවන්නක් වැනිය.

අද වනවිට ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳට ගගනගාමීන් රැගෙන යෑමේ අරමුණින් ‘ආටිමිස්’ නමින් චන්ද්‍ර මෙහෙයුම් මාලාව ආරම්භ කර තිබේ. පිරිමියකු මෙන්ම ගැහැනියක ද සඳට පය තැබීමට නියමිතව ඇත්තේ 2025 වසරෙන් පසු ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය.

2025 වසරෙන් පසු සඳ මතුපිට ජනාවාස පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ගුරුත්ව බලයක් නොමැති සඳ මතුපිට පාපන්දු තරගාවලියක් පැවැත්වුවහොත් එය අපූරු අත්දැකීමක් වනු ඇත. සඳ මතුපිට පා පන්දු තරගයක් පැවැත්වෙන අයුරු පෙන්වන පරිගණක ඡායාරූප පෙළක් ද මේ වනවිට ‘අයි.ඊ.ටි’ ඉන්ජිනේරු තාක්ෂණ සමාගම ප්‍රසිද්ධියට පත් කර අවසන්ය.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS