සඳ ඇල්ලූ වික්‍රමය



නිරවි යුද සමයේ, පස මිතුරන් වුණු ඇමෙරිකාවත් සෝවියට් සමූහාණ්ඩුවත් එකිනෙකාට අවි අමෝරා ගනිද්දී, අභ්‍යවකාශය ජය ගැනීම සහ ස‍ඳ තරණය කිරීම වෙනුවෙන් තරගයක් පැවැතිණි. සෝවියට් සමූහාණ්ඩුව පරදවමින්, සඳට ගගනගාමීන් යවමින්, සඳ තරණය කළේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒ සමඟම තරගය නිමා විය. පසුගිය දා පස මිතුරන් නොවුණත්, රුසියාව සහ ඉන්දියාව අතරේ ද සඳ ජය ගැනීම වෙනුවෙන් තරගයක් පැවැත්විණි. රුසියාව සහ ඉන්දියාව මෙම තරගය ආරම්භ කළේ එකිනෙකාගේ ජයග්‍රහණ වෙනුවෙන් සුබ පතමින් සතුටු වෙමිනි.

තරගය ආරම්භ වූයේ ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය, ඔවුන්ගේ 'චන්ද්‍රයාන් 3' චන්ද්‍ර යානය පසුගිය ජූලි 14 වැනිදා සඳට යැවීමෙනි. 'රොස්කොස්මොස්' හෙවත් රුසියන් අභ්‍යවකාශ ආයතනය ඔවුන්ගේ 'ලූනා 25' රොබෝ යානය සඳට යැවීම කළේ පසුගිය අගෝස්තු 11 වැනිදාය.'ලූනා 25' අගෝස්තු 21 වැනිදාත්, 'චන්ද්‍රයාන් 3' මෙහෙයුමට අයත් 'වික්‍රම්' රොබෝ යානය අගෝස්තු 23 වැනිදාත් සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට සැලැසුම් කර තිබුණි. අවාසනාවකට ගොඩබෑමට සූදානම් වෙද්දී, රුසියාවේ 'ලූනා 25' රොබෝ යානය සඳට කඩා වැටුණි. මෙහෙයුම අවසන් විය.

ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානය පසුගිය අගෝස්තු 23 වැනිදා පස්වරුවේ සාර්ථකව සඳට ගොඩබෑවේය. යානය සඳට ගොඩබෑම සිදුවූයේ පස්වරු 6.04 ටය. ඊට පෙර යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පැවැසීය.'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගත් අතර ලොව බොහෝ දෙනකු එය නැරැඹූ බව වාර්තා වේ.'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයකි. ඊට අමතරව, සඳුගේ දක්ෂිණධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය.

ඉන්දියාව පුරා පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබෙන බවත්, සිසුන්ට ද සජීවී දසුන් නැරඹීමට ඉඩ ලැබුණි. 'බ්‍රික්ස්' සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නැරැඹීය. යානය සාර්ථකව ගොඩබෑමත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අමතමින් සුබ පැතීමට මෝදි අමතක නොකළේය. ලැබූ ජයග්‍රහණය ගැන උදම්අනමින් අගමැති මෝදි ජාතිය ඇමතීමට ද අමතක නොකළේය.

ඉන්දියාව මීට පෙර 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ ද 'වික්‍රම්' නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. කෙසේ නමුත් එය අසාර්ථක විය. එම යානය සඳට කඩා වැටුණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමිණි. 23 වැනිදා සවස සඳට පතිත කළ  'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානයක් ද ඇත. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. රෝවර් යානයට සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණය කිරීමට හැකිය.

‘ලූනා 25’ චන්ද්‍ර යානය ගැන ‘රොස්කොස්මොස්’ ආයතනය අසුබ ආරංචියක් අපට කීවේ පසුගිය 19 වැනිදාය. යානය සඳට ගොඩබෑමට නියමිතව තිබුණේ 21 වැනිදාය. 19 වැනිදා, යානය සඳට ගොඩබෑමේ අරමුණින් යානය සඳේ පහළ කක්ෂයකට යොමු කිරීම රුසියන් විද්‍යාඥයන්ගේ අරමුණ විය. මෙම කක්ෂය හැඳින්වෙන්නේ ‘ප්‍රී ලෑන්ඩින් ඕබිට්’ (Pre-Landing Orbit) යනුවෙනි. ඒ අනුව, ඊට අදාල විධාන රොබෝ යානයට ලබා දීම සිදුවිය. එසේ කක්ෂය වෙනස් කිරීමේ දී යානාවේ රොකට් ඇන්ජින් ක්‍රියාත්මක කළ යුතු වෙයි. කෙටි එන්ජින් දහනය මගින් යානය නියමික පරිදි ‘හැසිරවීම්’ කළ යුතු වෙයි. ඒත් 19 වැනිදා සිදුවූයේ කෙටි ඇන්ජින් දහනයක් නොවෙයි, ඇන්ජින් පාලනයෙන් ගිලිහී නොනවත්වා දහනය වීමකි. ඒ අනුව කක්ෂය වෙනස් විය. අභ්‍යවකාශ යානයක රොකට් ඇන්ජින්වල සුළු හෝ වෙනස්කමක් සිදුවුවහොත් එය විනාශයකි. ඒ බව තහවුරු කරමින්, රොබෝ යානය, ‘ප්‍රී ලෑන්ඩින් ඕබිට්’ (Pre-Landing Orbit) කක්ෂයෙන් මිදී සඳට කඩා වැටුණි. එය ඇත්තටම අවාසනාවන්ත සිද්ධියකි. ඒ අනුව, වසර 47 කට පසු යළි සඳට රොබෝ යානයක් යැවීමට ගත් උත්සාහය අසාර්ථක විය.

 ‘චන්ද්‍රයාන් 3’ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Indian Space Research Organisation (ISRO) විද්‍යාඥයන්ගේ නවමත සඳ ගවේෂණ මෙහෙයුමය. ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, පසුගිය ජූලි 14 වැනිදා පෘථිවියෙන් පිටත් විය. ‘චන්ද්‍රයාන් 3’ පෘථිවි කක්ෂයට රැගෙන ගියේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark-III රොකට්ටුවය. ‘චන්ද්‍රයාන් 3’ යානය, සඳුගේ කක්ෂයට පිවිසියේපසුගිය අගෝස්තු 5 වැනිදාය.


RECOMMEND POSTS