ශ්‍රී සමුද්‍රගිරි විහාරය



නැඟෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කොටිටියාර්පත්තුවට අයත් ලංකා පටුන අතීතයේ ‘ලංකා පට්ටන’ නම් විය. පුරාණයේ මෙම ස්ථානය වෙළඳ වරායකි. කළිඟු රට ගුහසීව රජුගේ දියණිය හේමමාලා කුමරිය සහ දන්ත කුමරු, ශ්‍රී දළදා වහන්සේ රැගෙන, මෙරටට පය තැබුවේ මෙම ස්ථානයෙනි.

එදා රාත්‍රියේ දළදා වහන්සේ සුරක්ෂිතව තබා ගනිමින්, හේමමාලා කුමරිය සහ දන්ත කුමරු නොයෙක් පුද පූජා පවත්වා ඇත්තේ, කලපුවට ඔබ්බෙන් ඉහළින් ඇති කුඩා පර්වතය මුදුණේය. ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි විහාරය පිහිටා ඇත්තේ මෙම පර්වතය කේන්ද්‍රකාට ගනිමිනි.

පර්වතය මුදුණේ රැය පහන් කර පසුදා හේමමාලා කුමරිය සහ දන්ත කුමරු අනුරාධපුරය දක්වා ගොස් කීර්තිශ්‍රීමේඝවර්ණ (කිත්සිරිමෙවන්) රජු හට ශ්‍රී දළදා වහන්සේ බාර කළහ.

ශ්‍රී සමුද්‍රගිරි විහාරය ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයකි. ක්‍රි. පූ. 3 වන සියවසේ මහින්දා ගමනයත් සමඟ ශ්‍රී ලංකාව පුරාම ඇති වූ බුදු දහමේ ප්‍රබෝධය නැඟෙනහිර ප්‍රදේශය පුරා ව්‍යාප්ත විය. ශ්‍රී දළදා වහන්සේ රැගෙන හේමමාලා කුමරිය සහ දන්ත කුමරු මෙරටට සැපත් වූයේ ද වූ බුදු දහමේ ප්‍රබෝධයත් සමඟය.

කොළඹ සිට කිලෝ මීටර් 300 ක් පමණ දුරින් පිහිටි මෙම ඓතිහාසික පුද බිමෙහි අතීතයේ දී මහා සංඝ රත්නය සඳහා නොයෙක් අයුරින් පහසුකම් සලසා ගොඩනැගිලි ආදිය ඉදි කර තිබූ බවට පුරාවිද්‍යා ගවේෂණවලින් අනාවරණය වී තිබේ.



දන්ත ධාතුන් වහන්සේ හට පුද පූජා පවත්වන ලද ශිලා පර්වතය මත ඉපැරණි දා ගැබක පේසාව කපරාරුව ඒ සඳහා භාවිතා කරන ලද බදාම කොටස් බොරදම අදටත් ඉතා හොඳින් ආරක්ෂා වී ඇත.

දාගැබේ ගර්භය නිදන් හොරුන් විසින් විනාශ කර ඇති අතර, ගඩොලින් නිම කරන ලද ගර්භ පාත්‍රයේ, කුටීර තුනක් කැණීමෙන් පසු සොයාගෙන ඇත. ඉතිරි සියලු කුටීර විනාශ වී ගොසිනි.

ඉපැරණි දාගැබේ පේසාව කපරාරු කිරීම සඳහා භාවිතා කර ඇත්තේ අනුරාධපුර යුගයට අයත් ඉදිකිරීම් තාක්ෂණය බව පැහැදිලි ය. ඊට අමතරව මෙම ස්ථානයේ බෝසත් ප්‍රතිමාවක් ද තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

 මෙහි සංඝාරාමයේ විසූ මහා සංඝරත්නයේ පරිහරණය සඳහා මීටර් 58 දිගින් සහ මීටර් 23 ක් පළලින් යුතු විශාල පොකුණක් ද දාගැබට පහළින් පිහිටයි. සේරුවිල නවෝදයේ ආදි කර්තෘ වහන්සේ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමියන් විසින් 1940 වර්ෂයේදී පමණ මෙම පුද බිම සොයාගත් බව පැවැසෙයි.

වීරෝධාර රණවිරුවන් විසින් මාවිල්ආරු සොරොව්ව විවෘත කර ගැනීමට කළ මහා සංග්‍රාමයක් සමඟ ඓතිහාසික ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය ද කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනිණ.

නැඟෙනහිර තමන්කඩුව දෙපළතේ ප්‍රධාන සංඝනායක සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ මෙහෙයවීමෙන් දහස් සංඛ්‍යාත බැතිමතුන් හට කිසිදු අවහිරයකින් තොරව වැද පුදා ගැනීමට සියලු පහසුකම් සලසා ඇති අතර සිංහල දෙමළ මුස්ලිම් කිසිදු භේදයකින් තොරව මෙම පූජනීය භූමිය දැක බලා ගැනීමට පැමිණීම ද විශේෂත්වයකි.


RECOMMEND POSTS