වන මැද පුද බිම



සෝමාවතී චෛත්‍යය වන්දනා කිරීමට බෞද්ධයන් තුළ ඇත්තේ මහත් කැමැත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ පළාත්වලින් වන්දනා පිරිස් දාගැබ වන්දනාමාන කිරීමට හා කිරි පිඬු පූජා කිරීමට පැමිණෙති. සෝමාවතී පුදබිම ඇත්තේ මහ වනාන්තරය මැදය. එය සෝමාවතී ජාතික වනෝද්‍යානයට අයත් වෙයි.

කොළඹ සිට පොලොන්නරුව හරහා සෝමාවතියට ඇති දුර කිලෝමීටර් 245 ක් පමණය. මේ පුද බිම පිහිටා ඇත්තේ පොලොන්නරු සහ ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌ක දෙක වෙන් කෙරෙන සීමාවේය. වනාන්තරය මැදින් පුදබිමට ගමන් කරන මාර්ගය, වැහි කාලයට යටවෙයි. ඒ මහවැලි ගංගාව පිටාර ගලද්දීය. වැසි කාලයේ දාගැබ් මලුවත් ජලයෙන් යටවන බැවින්, එම කාලයට චෛත්‍යය වන්දනා කිරීම අපහසුය.

කාන්තාවකගේ නමකින් ඉදි කෙරුණු ලංකාවේ ප්‍රධාන ස්තූප දෙකකින් එකක් ලෙස ඓතිහාසික සෝමාවතී මහා සෑය සැලකිය හැකිය. අනෙක් ස්තූපය ශ්‍රී ලංකාවේ මහා ස්තූපය වන රුවන්වැලි මහා සෑයයි. ‘ස්වර්ණමාලී’ මහා සෑය ලෙස නම් කර ඇත්තේ ‘ස්වර්ණමාලී’ දෙවඟනට වෙනුවෙනි.

දුටුගැමුණු රජතුමා පියා රුහුණු (මාගම) රටේ රජ කළ කාවන්තිස්ස රජතුමාය. කාවන්තිස්ස රජුගේ නැගණිය සෝමා දේවියයි. සෝමා දේවිය විවාහ වූයේ අභය කුමරු සමගය. යුවළ රුහුණේ ගිරි නැමැති නුවර පාලනය කරමින් එහි වාසය කර කළහ. ගිරි නුවර මාගම (රුහුණ) රාජධානියට අයත් කුඩා රාජ්‍යයකි. පසු කලක ඔවුන් ගිරි රාජ්‍යය අත හැර සේරු නුවරට ගියහ. ඒ දුටු ගැමුණු කුමරුන් සමඟ සිත් අමනාපකම් ඇතිවීමෙනි.

සේරු නුවර පාලනය කළේ සිව නැමැති රජතුමා ය. සිව රජු ගිරිඅභය කුමරුගේත් සෝමා දේවියගේත් හොඳ ම මිතුරාය. මෙම මිත්‍රකම නිසා ම සේරු නුවරට ආසන්නයේ තිබූ සෝම නම් ප්‍රදේශය සිව රජු මෙම දෙදෙනාට තෑගි කළේ ය. ගිරි අභය රජු එම ප්‍රදේශයේ පාලකයා විය.

එම ප්‍රදේශයේ ගල්ලෙන් තුළ මහරහතන් වහන්සේලා වැඩ සිටියහ. ගිරි අභය රජු තම දේවිය වූ ‘සෝමා’ නමින් චෛත්‍යයක් කරවීය. එදවස, රහතන් වහන්සේ නමක් විසින් දෙනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ, රජතුමා එම දාගැබේ තැන්පත් කළේ ය.

ගිරිඅභය රජතුමා, ඉදි කළ මෙම දාගැබ වටා පැන් පොකුණු ආදිය ඉදිකිරීමත්, පරිසරය අලංකාර කිරීමත් සිදු කළ අතර, පසු කාලයේ මෙය සෝමාවති චෛත්‍යය ලෙස ප්‍රසිද්ධියට පත් විය.


RECOMMEND POSTS