වටිනාම ග්‍රහකය සොයන්න සියල්ල සූදානම්



සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ සොයා යෑමට ඇමෙරිකාවේ නාසා ආයතනය සැරැසෙයි. මෙම වටිනා දේ ග්‍රහකයකි. විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ ‘සයිකී 16’ යන නමිනි. නාසා විද්‍යාඥයන්ට අනුව, මිල කළ නොහැකි වටිනා ලෝහවලින් පිරුණු මෙම ග්‍රහකයේ වටිනාකම ගණනය කළ නොහැකි තරම්ය. ‘සයිකී 16’ ග්‍රහකය කැබැලි කර, මනුෂ්‍ය වර්ගයා අතරේ බෙදා දුන්නොත්, සෑම කෙනකුම බිලියනපතියකු වනු ඇතැයි නාසා පවසන්නේ ග්‍රහකය කොතරම් වටිනවාදැයි පෙන්වා දෙමිනි.

‘සයිකී 16’ ග්‍රහකය ගවේෂණයට යැවෙන්නේ එනමින් එනම් ‘සයිකී’ නමින් නම් කළ රොබෝ යානයයි. මීටර් 25 ක් උස, මීටර් 7 ක් පළල යානය යොදා ගනිමින් සිදු කරන ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම වෙනුවෙන් නාසා ආයතනය වැය කරන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.2 කි.
 
‘සයිකී 16’ සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු සහ බෘහස්පති අතර ඇති ප්‍රධාන ග්‍රහක පටියේ පාමෙන් පවතින ග්‍රහකයකි. සාමාන්‍යයෙන් ග්‍රහකවල අඩංගු වන්නේ පාෂාණ සහ අයිස් ය. ඒත්, ‘සයිකී 16’ ග්‍රහකයේ ඇත්තේ රත්තරන් ද ඇතුළු මිල කළ නොහැකි වටිනා ලෝහ ය. නාසා ආයතනය ග්‍රහකය වැඩි දුර ගවේෂණයට රොබෝ යානයක් යවන්නේ ඒ නිසාය.

‘සයිකී 16’ ග්‍රහකය පළමුවෙන්ම සොයා ගැනීම සිදුවූයේ 1852 වසරේදීය. ග්‍රහකයේ පළල කිලෝ මීටර් 280 කි. ‘සයිකී’ ගවේෂණ යානය පෘථිවි කක්ෂයට තල්ලු කර යැවීම සිදු වන්නේ නාසා ආයතනය හා සම්බන්ධ ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ෆෝල්කන් හෙවී’ නමැති රොකට්ටුවේ ආධාරයෙනි. ‘සයිකී’ යානය 2029 වසරේ දී ග්‍රහකයට ළං වනු ඇත. ගවේෂණ කටයුතු ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS