ලොස් ඇන්ජලීස් ළැව් ගිනි



ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර තවමත් ගිනි ගනියි. පසුගිය 7 වැනිදා ආරම්භ වුණු ළැව් ගිනි අවසන් වන බවක් පෙනෙන්න නැත. ළැව් ගිනි 35 ක් ලොස් ඇන්ජලීස් නගරය පිහිටි ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය පුරා පැතිරෙමින් පැතිරෙයි. ගිනි නිවන භටයෝ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින්, ගිනි නිවීමට මහත් වෙහෙසක් දරති. දිවි පරදුවට තබා ලැව් ගිනි සමඟ සටන් කරති. ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන අද (13) වනවිට 24 දක්වා ඉහළ ගියේය. මියගිය බොහෝ දෙනා, අනතුරු ඇඟවීම් නොසලකා, තම තමන්ගේ නිවෙස් සහ දේපොල ළැව් ගිනිවලින් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ වැසියන් බව ද පැවැසෙයි. ලොස් ඇන්ජලීස් නුවර සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනැවීමට බලධාරීන් ගත් තීරණය තවමත් නොවෙනස්ව පවතී. බලධාරීන් මෙම තීරණය ගත්තේ, ළැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගිය ජනතාවගේ දේපළ කොල්ලකෑමට පටන් ගැනීමත් සමඟය.

පැතිරෙන ළැව් අතරින්, දරුණුතම ළැව් ගින්න ලෙස සැලකෙන්නේ, පැලිසඩේස් නමැති ළැව් ගින්නය. හෙක්ටයාර් 23,600 ක භූමි ප්‍රදේශයක් විනාශ කළ මෙම ළැව් ගින්නෙන් පාලනය කර ගැනීමට හැකි වී ඇත්තේ සියයට 11 ක් පමණක් බව ගිනි නිවන භටයෝ අද  (13) පැවැසූහ. ඊටන් නමින් නම් කළ ළැව් ගින්න, අක්කර 14,000 ක් විනාශ කර අවසන්ය. ගිනි නිවන භටයන් පැවැසුවේ, මෙම ළැව් ගින්නෙන් සියයට 15 ක් පාලනය කිරීමට තමන් සමත් වුණු බවය. ළැව් ගිනිවලින් විනාශ වූ නිවාස සහ ගොඩනැගිලි ගණන 12,000 කට වැඩිය. ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. ළැව් ගින්නෙන් මේ වනවිට සිදුවුණු හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 135 ත් 150 ත් අතර යැයි ගණන් බලා ඇත. පැලිසේඩ්ස් සහ ඊට්න් ළැව් ගිනි මරණවලට හේතුවී ඇති බවත් මියගිය 24 දෙනාට අමතරව තවත් 13 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. ආරක්‍ෂිත ස්ථානවල යැවුණු පිරිස 150,000 කට වැඩිය. ඇමෙරිකාවේ අසල්වැසියන් වන්නේ මෙක්සිකෝව සහ කැනඩාවය. ලොස් ඇන්ජලීස් ළැව් ගිනි මර්දනයට මෙක්සිකෝව සහ කැනඩාව ගිනි නිවන භටයින් මෙන්ම වතුර ගැලුම් දස දහස් ගණනක් රැගෙන පියාසර කළ හැකි ගුවන් යානා ද එවා තිබේ.

සාමාන්‍යයෙන් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ කඳුකරයේ සහ මිටියාවත්වල මිනිස් වාසයෙන් තොර වනාන්තරවල ප්‍රදේශවල වියලි කාලයට වාර්ෂිකව ළැව් ගිනි හට ගැනීම ස්වභාවිකය. එහෙත් මුළු ලෝකයේම අවධානය දිනාගත් මෙම ළැව් ගිනි ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ඉතිහාසයේ දරුණුතම ළැව් ගිනි බව පැවැසෙයි. මෙම ළැව් ගිනි හිතාමතා ඇති කළ එ්වා වුවත්, ස්වභාවිකව ඇති වූ ඒවා වුවත්, ඒවා පැතිරෙමින් පවතින්නේ පවතින වියලි කාලගුණ තත්ත්වය සහ වියලි සුළං ධාරා නිසාය; දකුණු දිග කැලිෆෝනියා ජනපදය හරහා හමන්න පටන් ගත් සුළං ධාරා නිසාය. මෙම සුළං ධාරා ‘යක්ෂයාගේ සුළං’ යනුවෙන් හැඳින්වුවත්, කාලගුණ විද්‍යාඥයන් නිල වශයෙන් ඒවා නම් කර ඇත්තේ ‘සැන්ටා ඇනා’ සුළං යනුවෙනි. රට අභ්‍යන්තරයේ කඳු වැටි අතරින් නිර්මාණය වූ මෙම සුළං ධාරා, කැලිෆෝනියා වෙරළ තීරය දෙසට හමන්න වූයේ පැයට කිලෝ මීටර් 100 ක වේගයකිනි. අද (13) වනවිට සුළං ධාරා තව තවත් ව්‍යාප්ත වූයේ ළැව් ගිනි ද ව්‍යාප්ත කරමිනි. මේ වනවිට ළැව් ගිනි දුමාරය හේතුවෙන් කැලිෆෝනියා ජනපදයේ වාතය ඉතාමත් දරුණු ලෙස දූෂණය වී ඇත. වායු ගුණාත්මකභාවය පහළ වැටී ඇත. ළැව් ගිනිවලින් නැගෙන විෂ දුමාරය සැන්ටා ‘සැන්ටා ඇනා’ ධාරා නිසා ප්‍රාන්තය පුරා පැතිර ගොස් ඇත.

ලොස් ඇන්ජලීස් යනු හොලිවුඩ් පුරයයි. හොලිවුඩ් නළු නිළියන් පමණක් නොව, ලොව ප්‍රධාන පෙළේ ධනවතුන් සහ බලවතුන්ගේ නිවාස, මන්දිර ආදිය ඇත්තේ ද ලොස් ඇන්ජලීස් නගරයේය. ඇමෙරිකාවේ ජනගහනය අතින් දෙවැනි විශාලතම නගරය වන්නේ ද ලොස් ඇන්ජලීස්ය. නගරයේ ජනගහනය මිලියන 3.8 කි. ලොස් ඇන්ජලීස් යන්නෙහි අරුත දේව දූතයන් (සිටී ඔෆ් ඒන්ජල්ස්) ගේ නගරය යන්නය. ප්‍රවීණ මෙන්ම සම්මානනීය නළු නිළියන් වන ඇන්තනි හොප්කින්ස්, මෙල් ගිබ්සන්, පැරිස් හිල්ටර්, බිලි ක්‍රිස්ටල් සහ ලොව කවුරුත් හඳුන්න කිම් කාඩෑෂියන් ඇතුළු කාඩෑෂියන් පවුලට අයත් නිවාස සහ මන්දිර පවා ගිනෙන් දැවී අළු වී අවසන්ය.

සාමාන්‍යයෙන් දෙසැම්බර් අවසානය සහ ජනවාරි ආරම්භය යනු ඇමෙරිකාවට ශීත කාලයයි. මෙම 2025 වසර ආරම්භ වෙද්දී, නැගෙනහිර සහ මධ්‍යම ඇමෙරිකාව හරහා දරුණු හිම කුණාටුවක් හමා යන්න විය. ගමනා ගමන කටයුතු ගුවන් ගමන් ඇණ හිටියේය. ලක්ෂ ගණනක් ඇමෙරිකානුවෝ දැඩි ලෙස පීඩාවට පත් වූහ. ලොස් ඇන්ජලීස් අයත් කැලිෆෝනියා ජනපදය ඇත්තේ, ඇමෙරිකාවේ බටහිර දෙසිනි. නැගෙනහිර සහ මධ්‍යම ඇමෙරිකා ජනපද දැඩි සීත කාලගුණයකින් බැට කද්දී, බටහිර දෙසින් පිහිටි කැලිෆෝනියාව කැලැඹුවේ දරුණු වියලි කාලගුණයකි. හිතාමතා කලින් සඳහන් කළ පරිදි ළැව් ගිනි බිහිසුණු වූයේ මෙම වියලි කාලගුණය නිසාය. ඇමෙරිකාවේ එක පැත්ත් සීතල වෙන්නත්, ඒ අවස්ථාවේදීම, අනෙක් පැත්තට දැඩි උෂ්ණ කාලගුණයක් පැවැතීමත් විපරිත කාලගුණ පෙරැළියක් බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසය. උතුරු කැලිෆෝනියාවේ ඇති වූ ළැව් ගිනි සම්බන්ධයෙන්, කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පවසන්නේ, එය මෙතෙක් නොවූවිරූ දේශගුණික විපර්යාසයක් නිසා ඇති වූවක් බවය. ගෝලීය දේශණික රටාවේ ඇති වුණු විශාල වෙනස්කම් නිසා හදිසියේ පැන නැඟුණු කාලගුණික තත්වයක් නිසා ළැව් ගිනි දරුණු වුණු බවය. ගෝලීය උණුසුමෙහි ඇති ව්‍යාකුල ස්වභාවය නිසා සාමාන්‍ය ළැව් ගිනි මහා විනාශයක් ළඟා කර දෙන ආකාරයේ තත්වයකට පත් වූවක් බවය. විද්‍යාඥයන් මෙම විපරිත තත්ත්වය හැඳින්වීම සඳහා නව වදනක් ද නිර්මාණය කර තිබේ. හයිඩ්‍රෝ-ක්ලයිමේට් විප්ලෑෂ් යනු එම වදනය. එහි සිංහල අරුත, ‘ජලකාලගුණික ක්ෂණික (කස) ප්‍රහාරය’ යන්නය. මේ බිහිසුණු කාලගුණික තත්වය, අති තීව්‍ර තෙත සහිත කාලගුණයත්, පරිසරයේ අනතුරුදාකය වියළි කාලගුණික තත්වයත්. අතර සිදුවූ වේගවත් දෝලනයක් නිසා එකවරම අනපේක්ෂිතව ඇති වූවක් බවය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS