ලොව ලොකුම අයිස් කුට්ටිය වෙන්වෙලා පාවෙනවා



‘ලොව විශාලතම අයිස් කුට්ටිය’ පාවීමට පටන් අරන්. විදෙස් මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්වී ඇත්තේ මෙයයි. විද්‍යාඥයන් මෙම අයිස් කුට්ටිය නම් කර ඇත්තේ A23a යනුවෙනි. සාමාන්‍යයෙන් අයිස් කුට්ටයක් Iceberg යනු සීතල සාගරයේ පාවෙන දෙයකි. නමුත්, A23a අයිස් කුට්ටිය, එය උපන් දා සිට පසුගිය 30 වසරක කාලය තිස්සේ, ඇන්ටාක්ටිකාවට ඔබ්බෙන් මුහුදේ සිරවී, නොසෙලවී, රැඳී පැවැතිණි. ඒත් දැන් එය පාවීමට පටන් ගෙන තිබේ.

වර්ග කිලෝ මීටර් 4,000 ක් විශාල අයිස් කුට්ටිය, ෆිල්ච්නර් අයිස් තට්ටුවේ Filchner Ice Shelf කොටසක් විය. අයිස් කුට්ටියේ ඝනකම අඩි 1,312 කි. එය අයිස් කුට්ටියක් බවට වෙන් වී උපත ලැබුවේ 1986 වසරේ දීය. එය සෙමින් සෙමින් පාවීමට පටන් ගත්තත්, වැඩි දුරක් යෑමට සමත් වූයේ නැත. අයිස් කුට්ටිය, ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ, නොගැඹුරු සාගර පතුලේ සිර වී නතර විය. ඒ අනුව, පසුගිය වසර ගණනාව තිස්සේ අයිස් කුට්ටිය, වෙඩ්ඩෙල් මුහුදේ Weddell Sea සිරවී පැවැතිණි. වෙන් වී යළි පා වීමට පටන් ගැනීමෙන් පසු දැන් එය විවෘත සාගරයට අවතීර්ණ වී තිබේ. ඒ අනුව, අයිස් කුට්ටිය දැන් එම සාගර කලාපයේ යාත්‍රා කරන නැව්වලටත්, ජීවත් වන පෙන්ගුවීන්, සීල් වැනි සතුන්ටත් තර්ජනයක් වී අවසන්ය.

සෙලවෙන්නේ නැතිව, එක තැන පැවැතියත්, අවස්ථා ගණනාවකදී, ලොව විශාලතම අයිස් කුට්ටිය ලෙස වාර්තා අතරට එක් වීමට ද A23a සමත් වුණු බව, ඇමෙරිකාවේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ ග්ලැසියර පිළිබ‍ඳ විද්‍යාඥයකු මෙන්ම, නාසා ගොඩාර්ඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ විද්‍යාඥයකු ලෙස ද කටයුතු කරන රිස්ටෝපර් ෂුමන් පැහැදිලි කරයි.

සිරවී තිබුණු A23a අයිස් කුට්ටිය සෙමින් සෙමින් නිදහස ලැබීම ආරම්භ වූයේ මීට වසර තුනකට පමණ පෙර 2020 වසරේ දීය. ඒ බව අනාවරණය වූයේ භූමිය ගවේෂණය කරන භූ විද්‍යා චන්ද්‍රිකා දත්ත සහ ඡායාරූප ඇසුරිනි. විද්‍යාඥයෝ, අයිස් කුට්ටිය ගැන එදා සිට විමසිල්ලෙන් පසුවූහ. දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම ද අයිස් කුට්ටිය නිදහස් කිරීමට එක් හේතුවක් වූ බව පැවැසෙයි. අයිස් කුට්ටිය සම්පූර්ණයෙන් ම නිදහස් වී සාගරයේ පාවීම ආරම්භ කළ බව විද්‍යාඥයන් දැනගත්තේ ද චන්ද්‍රිකා ඡායාරූප ඇසුරිනි. පාවෙන අයිස් කුට්ටිය පිළිබ‍ඳ සොයා බැලීමට ඇමෙරිකන් විද්‍යාඥයන් පිරිසක් එය පාවෙමින් පවතින මුහුදු සීමාවට ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

අයිස් කුට්ටි ගැන කතා කරද්දී මුලින්ම සිහියට නැගෙන්නේ ටයිටැනික් නැවය. ‘ගිල්ලන්න බැහැ’ කී ටයිටැනික් නැව RMS Titanic බ්‍රිතාන්‍ය මගී නෞකාවකි. 1912 අප්‍රේල් 15 වැනිදා අයිස් කුට්ටියක හැපී, දෙකඩ වී ගිලී ගියේ ඇමෙරිකාවේ නිව්යෝක් බලා යාත්‍රා කරද්දීය. නැවේ කාර්ය මණ්ඩලය සහ මගීන් 2,224 දෙනකු සිටි අතර, 1500 කට වැඩි පිරිසක් මියගියහ.

අයිස් කුටිටියක් යනු ග්ලැසියරයකින් වෙන් වී, මුහුදේ පාවෙන මිරිදිය අයිස් කැබැල්ලකි. මෙසේ අයිස් කුට්ටි ග්ලැසියරයකින් හෝ අයිස් තට්ටුවකින් හෝ වෙන් වන්නේ, ජලය ගලා යද්දීය. සාමාන්‍යයෙන් ග්ලැසියරවල කෙළවරේ කොටස් හෝ අයිස් තට්ටුවල කෙළවරේ කොටස් මෙසේ අයිස් කුට්ටි ලෙස වෙන් වී පාවීමට පටන් ගනී. ඉංග්‍රීසි බසින් මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ 'calving' යනුවෙනි. මෙය ස්වභාවිකව සිදුවන්නකි

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS