ලිබියාව කැලැඹූ සැඩ පහර



කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනයෙන් පසු, 2011 වසරේ දී, උතුරු අප්‍රිකා රාජ්‍යයක් වූ ලිබියාව අස්ථාවර විය. ඒ, ගඩාෆි බලයෙන් නෙරපා ඝාතනය කිරීමට ඇමෙරිකාව ප්‍රංශය ඇතුළු බටහිර රටවල උසි ගැන්වීමෙන් සන්නද්ධ වූ විපක්ෂ ක්‍රියාකාරීන් එම අවි බිම දැමීම ප්‍රතික්ෂේප කළ බැවිනි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ලිබියාව ‘අසාර්ථක’ රාජ්‍යයකි. ගඩාෆි, දිගින් දිගටම ලිබියාව පාලනය කළේ ආගමික වශයෙන් හෝ​ ගෝත්‍රික වශයෙන් හෝ බෙදීමක් ඇති වීමට ඉඩ නොදෙමිනි. එය විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පවා පිළිගන්නා කරුණකි. ඒත් ගඩාෆි ඝාතනයෙන් පසු සියල්ල උඩු යටිකුරු විය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනුව, ලිබියාව යනු ‘අස්ථාවර’ රාජ්‍යයකි.

අද ලිබියාව බල කඳවුරු දෙකකට බෙදී ගොසිනි. ඒ නැගෙනහිර සහ බටහිර වශයෙනි. නැගෙනහිර බල කඳවුර වන්නේ බටහිර රටවල අනුග්‍රහයෙන් පිහිටුවූ, ජාත්‍යන්තරය විසින් පිළිගනු ලැබූ ලිබියානු රජයයි. බටහිර බල කඳවුර පිහිටුවා ඇත්තේ, ලිබියාවේ බටහිර පළාත් පාලනයට අතට ගත්, හමුදා නායක ජනරාල් කලීෆා හෆ්තාර්ය. බලයට ඇති කෑදරකමින් බෙදී වෙන්වුණු ලිබියානු වැසියන් අසරණය. තෙල් සම්පතින් අනූන වුවත්, එය නිසි කළමනාකරණයක් නොමැත. රටේ දේශපාලන ස්ථාවරත්වයක් නැත. යටිතල පහසුකම් නැත. රෝහල්වල බෙහෙත් නැත. සෞඛ්‍ය පද්ධතිය අඩපණය. ​ලිබියානු වැසියන් මෙසේ මෙතරම් අසරණ තත්ත්වයකට ඇද වැටී සිටින අවස්ථාවක, ‘ඩැනියෙල්’ ලිබියාවට කඩා වැදුණේය.

මධ්‍යධරණී මුහුදේ ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් තෙක් වර්ධනය වුණු ‘ඩැනියෙල්’ පසුගිය සැප්තැම්බර් 12 වැනිදා ග්‍රීසිය පසු කර ලිබියාවට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන ජගත් කාලගුණ අංශ ලිබියාවට දැනුම් දී තිබුණු නමුත්, සන්නිවේදන පහසුකම් පවා නොමැති බැවින්, ලිබියානු වැසියන්ට අනතුරු ඇගවීම් ළං ​වූයේ නැත. ‘ඩැනියෙල්’ රට තුළට ආවේ පැයට කිලෝ මීටර් 80 කට වැඩි වේගයකිනි. තද සුළං සමඟ මහ වැසි ඇද හැළෙන්න පටන් ගත්තේය. තෙදිනක් තිස්සේ නොකඩවා මහ වැසි ඇද හැළෙන්න විය. ‘ඩෙර්නා’ නගරය පිහිටා ඇත්තේ ලිබියාවේ නැගෙනහිර දෙසින් මුහුද ආසන්නයේය. වසර ගණනාවකට පෙර මෙම නගරය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහ​ණයේ පැවැතිණි. නගරයට ‘කුඩම්මාගේ සැලකිලි’ හිමි වූයේ ඒ නිසාය. කඳුකරයෙන් ආරම්භ වී, ලිබියාව හරහා ගලන‘ඩාඩි ඩෙර්නා’ ගංගාව මුහුද​ට වැටෙන්නේ ‘ඩෙර්නා’ නගරය අසලින්ය. මහ වැසි සමඟ ගංගාව පිරී ගියේය. ගංගාව හරස් කරමින් ඉදිකළ වේලි දෙකකි. නිසි ලෙස කඩත්තු නොකෙරුණු එම වේලි, මහා ජල කඳට ඔරොත්තු නොදී පුපුරා කැඩී ගියේ මහ හඬක් නගමිනි. අධික වර්ෂාව නිසා නිවෙස්වල ආරක්ෂිතව සිටි ‘ඩෙර්නා’ නගර වැසියන්ට ඒ හඬ හොඳින් ඇසුණි.

මිනිත්තු කීපයක් ගත වෙද්දී, මඩ තට්ටු සමඟ මහා ජල කඳ ‘ඩෙර්නා’ නගරයට කඩා වැදුණි. ඒ, නගර වැසියන් සහ මෝටර් රථ සැඬ පහරට හසු කර ගනිමිනි. හදිසියේ හටගත් මෙම ජල ගැලීමට බිලිවුණු ගණන 20,000 ක් බවත්, සැඬ පහර ගසාගෙන ගොස් අතුරුදන් වුණු ගණන 10,000 ක් බවත් ලිබියාවේ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක මොහොමද් අබු ලාමෝෂා පසුලිය 13 වැනිදා මාධ්‍ය හමුවේ පැවැසීය. ‘ඩොර්නා’ නගරයේ ජනගහනය 89,000 කි. කාන්තාවන්, කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනකු සැඬ පහරට හසුවී මුහුදට ගසා ගෙන ගිය බව පැවැසෙයි. විපතට පත් වුණු ‘ඩෙර්නා’ නගරයට ආධාර ලබා දීම ගැටලුවක් විය. ඒ, මාර්ග සියල්ල අවහිර වී නගරයට පිවිසීම ගැටලුක් විය. විපතට පත් වුණු ‘ඩෙර්නා’ වැසියන්ට ආධාර ලැබීමට පටන් ගත්තේ විපතට පත් වී පැය 36 ක් ගත වීමෙන් පසුවය.

‘ඩැනියෙල්’ සුළි කුණාටුවෙන්, ලිබියාවේ තවත් නගර රැසකට හානි සිදුවිය. ඒ, ජල ගැලීම් හේතුවෙනි. සුළි කුණාටුවේ බලපෑමෙන්ප උන්සිටිතැන් අහිමි වූ ගණන 80,000 ඉක්මවීය. අතුරුදන් ගණන 10,000 පසු කර තිබේ. ලිබියාවේ එක් බල කඳවුරක් වන්නේ ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල අනුග්‍රහයෙන් පිහිටුවා ගත් රජයයි. එම රජය විදේශවලින් ආධාර ඉල්ලා ඇති අතර, ඊට යහපත් ප්‍රතිචාර ලැබුණි. තුර්කිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කඩිනමින් ලිබියාවට ගුවන් යානා එවීම සිදු කළේය. ඒ, මානුෂීය ආධාර රැගෙනය. ආධාර බෙදා දීම රතු කුරුස සහ රතු අඩකව සංවිධානයේ මෙහෙයවීමෙන් ක්‍රමාණුකූලව සිදුවන බව පැවැසෙයි.

මධ්‍යධරණී මුහුදේ ‘ඩැනියෙල්’ සුළි කුණාටුව නිර්මාණය වීමට හේතු වූයේ ‘එල් නීනෝ’ නමින් හැඳින්වෙන විපරිත කාලගුණ සංසිද්ධිය යැයි ජගත් කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ලොව කලඹන විපරිත කාලගුණ පෙරළි දෙකකි. ‘එල් නීනෝ’ සහ ‘ලා නීනා’ යනු ඒවාය. ‘ලා නීනා’ යනු ‘එල් නීනෝ’ කාලගුණ සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි. ඉතා සරලව පැහැදිලි කළොත්, වැසි නොමැකි උණුසුම් සහ වියළි රටවලට ධාරාණිපාත වැසි ලැබෙන්නේත්, උණුසුම් රටවලට දැඩි සීත කාලගුණයක් බලපාන්නේත්, ශීත රටවලට දැඩි වියළි කාලගුණයක් ඇති වන්නේත් ‘එල් නීනෝ’ සංසිද්ධිය නිසාය. මෙම විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමට එක් හේතුවක් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑමය.


RECOMMEND POSTS