මොරොක්කෝව කැලැඹූ භූමිකම්පාව



පෘථිවියේ පිටත ආවරණය, එසේත් නැතිනම් පෘථිවි කබොල නිර්මාණය වී ඇත්තේ භූ තැටිවලිනි. මේ තැටි චලනය වෙමින් එකමතඑක ගැටීම ‘භූමි කම්පා’ ලෙස හැඳින්විය හැක. ප්‍රබලත්වයෙන් අඩු කම්පන භූ චලන ලෙස ද ප්‍රබලත්වයෙන් වැඩි කම්පන භූමි කම්පා ලෙස ද හැඳින්වෙයි.

උතුරු අප්‍රිකාවට අයත් ඇට්ලස් කඳු වැටිය ඇත්තේ, අප්‍රිකානු භූ තැටිය සහ අරාබි භූ තැටිය හමුවන මායිමේය. සහරා කාන්තාරය, මධ්‍යධරණී මුහුදෙන් සහ අත්ලාන්තික් සාගරයෙන් වෙන් කරන්නේ ඇට්ලස් කඳු වැටියයි. අත්ලාන්තික් සාගරයට එම නම යෙදී ඇත්තේ ද ‘ඇට්ලස්’ කඳු වැටිය නිසාය. ඇට්ලස් කඳු වැටිය කිලෝ මීටර් 2,500 ක් පුරා පැතිර ඇත්තේ රටවල් ත්‍රිත්වයක් හරහාය. මොරොක්කෝව, ඇල්ජීරියාව සහ ටියුනීසියාව යනු එම රටවල්ය. ඇට්ලස් කඳු වැටියට අයත් උසම කන්ද තුබ්කාල් ය. උස මීටර් 4,167 කි. තුබ්කාල් පිහිටා ඇත්තේ මධ්‍යම මොරොක්කෝවටය.

එදා එනම් පසුගිය සැප්තැම්බර් 8 වැනිදා, මොරොක්කෝ වැසියන් නින්දට ගියේ පසුදා අවදි වීමේ බලාපොරොත්තු තුරුලු කර ගනිමිනි. එහෙත්, බොහෝ දෙනකුට පසු දා උදා වූයේ නැත. ප්‍රබල භූමි කම්පාවකින් මොරොක්කෝව කැලැඹිණි. නිදා සිටි බොහෝ දෙනකු පණපිටින් වැලලිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, භූමි කම්පාව හටගත්තේ ඇට්ලස් කඳුකරයේ කිලෝ මීටර් 26 ක් පොළොව ගැඹුරේය. මොරොක්කෝ භූ විද්‍යාඥයන් භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් යැයි කීවත්, ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.2 කි.

භූමි කම්පා හට ගත්තේ මොරොක්කෝවේ මරකේෂ් නගරයට කිලෝ මීටර් 72 ක් දුරිනි. එහි අපිකේන්ද්‍රය ඇට්ලස් කඳු වැටියට අයත් ඉග්හිල් පළාත බව හඳුනා ගෙන තිබේ. මෙම පළාත අයත් වන්නේ ලෙහවුස් ප්‍රාන්තයටය. ඉග්හිල් පළාතේ වැසියෝ බොහෝ දෙනා ගොවීහුය. ඔවුන්ගේ ජීවිත සරලය. ඔවුන් ජීවත් වන්නේ කටුමැටි නිවාසවලය. භූමි කම්පාවෙන් ලෙහවුස් ප්‍රාන්තයේ ගම්මාන මුළුමනින්ම බිමට සමතලා විය. මොරොක්කෝ අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශයට අනුව, භූමි කම්පාවෙන් මියගිය ගණන 2,012 කි. තුවාල ලැබූ ගණන 2,059 කි. ඒ අතරින් 1,404 දෙනකුගේ තත්ත්වය බරපතලය. ලෙහවුස් ප්‍රාන්තයේ පමණක් මියගිය ගණන 1,293 කි.  ලෙහවුස් ප්‍රාන්තය අසල පිහිටි ටරෝඩන්ට් ප්‍රාන්තයෙන් වාර්තා වන  මරණ 452 කි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, භූමිකම්පාව හේතුවෙන් 3,00,000 ක පිරිසකට උන්හිටිතැන් අහිමි විය.

මොරොක්කෝව උතුරු අප්‍රිකානු රාජ්‍යයකි. අත්ලාන්තික් සාගරයටත්, මධ්‍යධරණී මුහුදටත් මායිම් වෙයි. බටහිර සහරාව සහ ඇල්ජීරියාව, මොරොක්කෝ රාජ්‍යයේ අසල්වැසියන්ය. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ නිල භාෂා වන අතර, මොරොක්කෝවේ අගනුවර රබාත්ය. භූමි කම්පාවේ ප්‍රබතත්වය මුළු මොරොක්කෝවටම දැනුණි. වෙරළාශ්‍රිතව පිහිටි රබාත් අගනුවර පමණක් නොව, කැසබලැන්කා නුවර පවා දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය ස්පාඤ්ඤයට පවා දැනුණු බව විදෙස් මාධ්‍ය පවසයි.

මොරොක්කෝව සහ අසල්වැසි ඇල්ජීරියාව අතරේ, පසුගිය වසර කීපය පුරා හිත් අමනාපකම් පැවැතිණි. එය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් තෙක් දුරදිග ගොස් තිබුණි. කෙසේ නමුත් භූමි කම්පාවෙන් සිදුවුණු විපත දැක කම්පනය වී මුලින්ම මොරොක්කෝවේ උදවුවට ආවේ ඇල්ජීරියාවය. මොරොක්කෝවට හැකි සෑම අයුරින් උදවු කිරීමට ඇල්ජීරියාව පියවර ගෙන තිබේ. මානුෂීය ආධර රැගත් ඇල්ජීරියානු ගුවන් යානා කීපයක් භූමි කම්පාව සිදුවී පැය කීපයක් යද්දී මොරොක්කෝව බලා පැමිණියේය.

මේ වනවිට මොරොක්කෝවට විදෙස් ආධාර ලැබීම ආරම්භ වී ඇත. කඩිනමින් ආධාර ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් මොරොක්කෝවේ 6 වැනි මොහොමද් රජු ස්පාඤ්ඤයට, කටාර් රාජ්‍යයට, එමිරේට්ස් රාජ්‍යයට සහ මහා බ්‍රිතාන්‍යයට ස්තුති කළේය. ඒ, රජතුමාගේ සමාජ මාධ්‍ය ගිණුම හරහාය. කාලය සමඟ සටන් කරමින්, සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීම ලහි ලහියේ සිදුවෙයි.

භූමි කම්පාවෙන් සිදුවුණු විපත හේතුවෙන්, හය වැනි මොහොමඩ් රජු තෙදින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. විපතට පත් වුණු අයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටත්, උන්හිටිතැන් අහිමිවූවන්ට නවාතැන් පහසුකම් ලබා දීමටත් රජතුමා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. අරාබි රාජ්‍යයක් වන මොරොක්කෝවේ පවතින්නේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාපිත රාජාණ්ඩු පාලනයකි. අවසන් වරට, මොරොක්කෝව භූමි කම්පාවකින් කැලඹුණේ 1960 වසරේය. රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් මියගිය ගණන 12,000 කි.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS