මීයෝ ඇල්ලූ පාර්ලිමේන්තුව
පාකිස්තානය, අර්බුද සහ අභියෝග රැසකට මුහුණ දී සිටී. පාකිස්තානයේ දේශපාලන තවමත් ස්ථාවර නැත. අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපූ, ඉම්රාන් ඛාන් හිරබත් කයි. පසුගිය මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරයක් දිනා ගැනීමට නොහැකි වු බැවින්, ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ සහ ‘පාකිස්තාන ජාතික පක්ෂය’ එක් වී සන්ධාන රජයක් පිහිටුව ඇත.
කොතරම් උපක්‍රම භාවිත කළත්, රටේ ආර්ථිකය, පහළට යෑම වළක්වා ගැනීමට තවමත් හැකි වී නැත. උද්දමනය අහස උසට නැග අවසන්ය. රට වැසියන්, දිනෙන් දින පීඩාවට පත් වත අතර ඔවුන් සිටින්නේ කුස ගින්නේය. ඒ සියල්ල මැද ඉස්ලාමීය අන්තවාදීන්ගේත්, බෙදුම්වාදීන්ගේත්, ප්‍රචණ්ඩ ක්‍රියා විටින් විට අසන්න ලැබෙයි.
අභියෝග හමුවේ, දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට පාකිස්තානය වෙර දරද්දී, එරට බූරුවන් ගහනය ඉතිහාසයේ අන් කවදාටත් වඩා ඉහළ ගොස් ඇත. 2023-24 කාලයේ, පාකිස්තානයේ බූරුවන් මිලියන 5.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවල සඳහන් වෙයි. මෙය පාකිස්තාන රජයට හිසරදයකි. බූරු හිසරදය අතරතුරේ ‘කොරේ පිටට මරේ’ කියමින්, පාකිස්තාන පාර්ගිමේන්තුව ද කරදරයකට මුහුණ දෙයි. එය දේශපාලනය සම්බන්ධ කරදරයක් නම් නොවෙයි. එය මී කරදරයකි. පාකිස්තාන පාර්ලිමේන්තුව මී කරදරයකට මුහුණ දෙමින් සිටී.
පාකිස්තාන පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ඉස්ලාමාබාද් අගනුවරය. පස් මහල් මෙම ගොඩනැගිල්ල, විවෘත කෙරුණේ 1986 දීය. මෙය ඉදි කිරීමට ගත වුණු කාලය වසර 11 කි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සැලසුම් කළේ ඇමෙරිකන් වාස්තු විද්‍යාඥ ඩුරෙල් ස්ටෝන්ය. ගොඩනැගිල්ලේ මීයන් බෝවීමත් සමඟ එහි සේවක සේවිකාවන්ට, නිලධාරීන්ට සහ මැති ඇමැතිවරුන්ට මීයන්ගෙන් තර්ජන එල්ල විය. පාර්ලිමේන්තුවේ මුල්තැන්ගෙය සහ ආපනශාලාව පවතින්නේ සීල් තැබිය යුතු තත්ත්වයක යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අදහසය.
පාකිස්තාන පාර්ලිමේන්තුව, මැති ඇමැතිවරුන්ට අමතරව, මීයන්ගේ නවාතැන බවට පත් වූයේ අද ඊයේ නොව වසර 15 කට පමණ පෙර සිටිය. 2008 වසරේ දී, ‘මීයන් මර්දනය කිරීම’ සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් ද පිහිටුවිණි. ඒත් එයින් පලක් වූයේ නැත. මීයන් එකා දෙන්නා, පසුව සිය ගණනක් දක්වාත් ඉන්පසු දහස් ගණනක් දක්වාත් වැඩි විය. රට ගෙන යෑමට මුදුල් නොමැති අවස්ථාවක, කුසට හරිහැටි අහරක් නොමැති ජනතාව පීඩා විදින අවස්ථාවක, මීයන් මර්දනයට වාර්ෂික අයවැයෙන් පාකිස්තාන රුපියල් මිලියන 1.2 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇත. රට ණය බරින් මිරිකී සිටිද්දී, අයවැයෙන් මීයන් අල්ලන්න මිලියන ගණනක් වෙන් කිරීම, ජනාතා අප්‍රසාදයට හේතුවක් වී ඇත. මේ වනවිට පාකිස්තානයේ ණය ඇමෙරිකන් ඩොලර් බිලියන 6.28 කි. මෙසේ ණය වීම පාකිස්තානයට අලුත් දෙයක් නොවෙයි. 1958 වසරේ සිට අයි.එම්.එෆ්. හෙවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදලයේ සහාය ලබා ගනිමින් ‘පැලැස්තර් පිළියම්’ යෙදීම ද පාකිස්තානයට අලුත් දෙයක් නොවෙයි.
සැලැසුම් අනුව, පාකිස්තාන රුපියල් මිලියන 1.2 ක (ලක්ෂ 12) මුදල භාවිත කරමින්, මීයන් මර්දනය සිදුවන්නේ ක්‍රම කීපයකිනි. පළමුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයට මීයන් ඇතුළුවීම වැළැක්වීමට දැල් වැටක් ගැසීම සිදුවෙයි. ඊට අමතර මීපාසානම් තැනිත් තැන දමමින්, සහ උන් ඇල්ලීමට මී උගුල් ඇටවීම පෞද්ගලික සමාගම් කීපයකට බාර දීමට නියමිතය. ඒ, එම සමාගම් සමඟ කොත්ත්‍රාත් අත්සන් කරමිනි. ඊට අතරව, මීයන් ඇල්ලීමට විශේෂිත බළ ඇණියක් පාර්ලිමේන්තු පරිශ්‍රයට ගෙන්වීම සඳහා ද මිලියන 1.2 ක මුදලින් වැඩි කොටසක් වෙන් කෙරේ.
මේ බළ ඇණිය, බළල් බළ ඇණියකි. මීයන් දඩයම් කිරීමට විශේෂයෙන් පුහුණු කළ බළලුන් මෙම බළඇණියට අයත් බව පැවැසෙයි. මෙම බළලුන් සාමාන්‍යයෙන් නිවෙස්වල ඇති කරන බළලුන් මෙන් නොව, සිත්පිත් නැති ‘මී මරුවන්’ය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මී කරදරයට මේ අයුරින් පිළියම් සකස් කර දීමට මැදිහත් වී සිටින්නේ, පාකිස්තාන නාගරික සංවර්ධන අධිකාරියයි. මීට මාස කීපයකට පෙර, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ද මෙවැනිම පුවතක් අසන්න ලැබුණි. ඒ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද ආධිපත්‍ය මීයන් විසින් අත්පත් කරගනු ලැබූ බවටය. මීයන් දහසකට වැඩි ගණනක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්දිරය උන්ගේ නවාතැන කරගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.
බීබීසී ඇසුරිනි