මහපට ඇඟිලි ඇති ඩයිනසෝරයා



ඩයිනසෝර් පොසිල හමුවීම සහ නව ඩයිනසෝර් විශේෂ හඳුනා ගැනීම පුදුම වෙන්න දෙයක් නොවෙයි. ඒත් අලුතින්ම සොයා ගත් ඩයිනසෝර විශේෂයක්, විද්‍යාඥයන් මවිත කිරීමට සමත් වී තිබේ. හේතුව, පියාඹන ඩයිනසෝරයකු ලෙස හඳුනා ගත් මේ ඩයිනසෝරයාට මහපට ඇඟිලි තිබීමය.

තියුණු දත් සහිත දිගු විශාල හොටක් ද ඇති, ගස් නගින්න පුළුවන් විදියේ මෙම අමුතු ඩයිනසෝරයා වර්තමානයේ අප දකින වඳුරකුට සමාන යැයි විද්‍යාඥයෝ පවසති. මහපට ඇඟිලිවලින් සමන්විත මේ සත්වයා ටෙරෝඩැක්ටිල් pterodactyl පියාඹන ඩයිනසෝරයකු වැනිය. එහෙයින්, පොසිල විද්‍යාඥයවන් මෙම නව ඩයිනසෝරයා නම් කර ඇත්තේ මන්කිඩැක්ටිල් Monkeydactyl යන නමිනි.

මහපට ඇඟිලි ඇති බවට උදාහරණයක් ලෙස හඳුන්වා දිය හැකි, මෙන්ම මෙතෙක් සොයා ගත් මහපට ඇඟිලි ඇති ලොව පැරණිතම සත්වයා, මෙම ඩයිනසෝරයා 'මන්කිඩැක්ටිල්' Monkeydactyl යැයි පොසිල විද්‍යාඥයෝ පැහැදිලි කරති.

වානරයන් ඇතුළු මනුෂ්‍ය අප සත්ව ලෝකයේ අනෙක් සතුන්ගෙන් වෙන් වන්නේ මහපට ඇඟිලි නිසාය. මහපට ඇඟිලි ඇත්තේ වානරයන්, වඳුරන් සහ මනුෂ්‍යයන්ට පමණි. මහපට ඇඟිලි සහිත ඩයිනසෝරයකු සොයා ගැනීම, සුවිශේෂී සිදුවීමක් යැයි ද විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මහත් උනන්දුවකිනි.

මන්කිඩැක්ටිල් Monkeydactyl ඩයිනසෝරයාගේ පොසිල අස්ථි කොටස් සොයා ගැනීමට හැකි වී ඇත්තේ චීනයේ ලියෝනින් පළාතේ ටියෝජිෂැං කැණීම් භූමියෙනි. නව ඩයිනසෝර විශේෂ බොහොමයක් පිළිබඳ සාක්ෂි මෙම කැණීම් භූමියෙන් මීට පෙර ද හමුවී තිබේ.

විද්‍යාඥයන් කුන්පෙන්ගොප්ටෙරස් ඇන්ටිපොලිකැටස් Kunpengopterus antipollicatus යන නමින් ද මෙම අසාමාන්‍ය ඩයිනසෝරයා හඳුන්වයි. මේ ඩයිනසෝරයා ගැන වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ හමුවුණු පොසිල අස්ථි කොටස්, CT ස්කෑන් පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසුවය. ඒ සඳහා ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් ද එක් වී ඇත.

තියුණු උල් දත්වලින් සමන්විත දිගු හොටක් සහ ඉදිරි ගාත්‍රා (අත්වල) මහපට ඇඟිලි පිහිටි බවත් නිවැරදිව දැන ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබුණේ එම පරීක්ෂණවලින් පසුවය.

ටෙරෝඩැක්ටිල් pterodactyl පියාඹන ඩයිනසෝරයන් වවුලන් වැනි යැයි කීවොත් නිවැරදිය. වවුලන්ගේ දැකිය හැකි ලෙස, ටෙරෝඩැක්ටිල් pterodactyl ට පිහාටු නොමැති සම් පටලයකින් සැදුණු පියාපත් තිබුණි.

මන්කිඩැක්ටිල් Monkeydactyl ද ටෙරෝඩැක්ටිල් pterodactyl සත්වයකු වැනිය. පියඹා යෑමට සම් පටලයකින් සැදුණු පියාපත් තිබුණු අතර, ඉදිරිපස ගාත්‍රා එසේත් නැතිනම් අත් දෙපසට විදාහල විට, පියාපත්වල ප්‍රමාණය සෙන්ටි මීටර් 85 කි.

ගස්වලට නැගීමට ඉදිරිපස සහ පසුපස ගාත්‍රා හොඳින් නිර්මාණය වී තිබුණත්, මන්කිඩැක්ටිල් Monkeydactyl පියාපත් ආධාරයෙන් ගසින් ගසට පනින්න ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. පියාඹන උරගයෝ විද්‍යාඥයන් මන්කිඩැක්ටිල් Monkeydactyl ඇතුළත් කර තිබෙන්නේ ටෙරසෝරස් Pterosaurs ඩයිනසෝරයන් අතරටය.

පියාඹන්නට හැකි සියලු ඩයිනසෝරයන් අයත් වන්නේ මෙම ටෙරසෝරස් Pterosaurs පවුලට යැයි පොසිල විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. 'ටෙරසෝරස්' Pterosaurs යන්න ග්‍රීක වචන දෙකකින් නිර්මාණය වූ වදනක් වන අතර එහි අර්ථය 'පියාඹන උරගයා' යන්නය.

මෙසෝසොයික Mesozoic අවදියේ සිට ත්‍රියාසික අවදිය දක්වාත්, ඉන්පසු ක්‍රිටෛයිසීය අවදිය දක්වාත්, (ඒ කියන්නේ මිලියන 228 සිට 6 දක්වා) කාලයේ මෙම පියාඹන උරගයන් ගුවන රජ කළ බව පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කශේරුවාවක් ඇති පළමුවෙන් පියාඹා යෑමට සමත් වූ ජීව විශේෂය ලෙස ද සැලකෙන්නේ මෙම ටෙරසෝරස් Pterosaurs පියාඹන උරගයන්ය. ටෙරෝඩැක්ටිල් pterodactyl අයත් වන්නේ ද මෙම ටෙරසෝරස් Pterosaurs පියාඹන උරගයන් අතරටය.

''මීට පෙර පියාඹන උරගයන්ගේ පොසිල සාක්ෂි අපට හමුවී තිබෙනවා. ඒත් ඒ කිසිදු සත්වයකු , මන්කිඩැක්ටිල් Monkeydactyl ට සමාන කරන්න විදියක් නැහැ. හේතුව මේ සතාට තිබෙනවා අපට වඳුරන්ට මෙන්ම වානරයන්ට ඇති ලක්ෂණයක්. ඒක තමයි මහපට ඇඟිල්ල. මේ සත්වයාට මහපට ඇඟිලි තිබුණු බව අපට දැනගන්න ලැබුණේ Micro CT ස්කෑන් පරීක්ෂණවලට අස්ථි කොටස් යොමු කළ නිසයි. ඉන්පසු පරිගණක ඇසුරින් සහ සිත්තරුන්ගේ උදවුවෙන් මන්කිඩැක්ටිල් Monkeydactyl ගේ රුවක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබුණා.' යැයි මන්කිඩැක්ටිල් Monkeydactyl පියාඹන ඩයිනසෝරයා ලොවට හඳුන්වා දෙමින්, බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ෆියොන් වසියුම් මා පවසා තිබේ.

(ද සන් ඇසුරිනි)


RECOMMEND POSTS