පෘථිවියේ නැති දෙයක් ගෙනා නාසා යානය



වසර 7 ක මෙහෙයුමකින් පසු ඇමෙරිකා නාසා ආයතනයේ ‘ඔසයිරස් රේක්ස්’ Osiris-Rex රොබෝ ගවේෂණ යානය, පෘථිවියේ සිට සැතපුම් බිලියන 3.9 ක දුරක් ගෙවා, පසුගිය 24 වැනිදා පෘථිවිය බලා පැමිණියේය. නාසා ආයතනය ගැඹුරු අභ්‍යවකාශය ගවේෂණ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, එවැනි එක් මෙහෙයුමකට ඔසයිරස් රේක්ස් Osiris-Rex සම්බන්ධ විය.

නාසා ආයතනය වෙනුවෙන්, රොබෝ යානය නිර්මාණය කර දී ඇත්තේ, ඇමෙරිකාවේ ‘ලොක්හීඩ් මාටින්’ සමාගමය. ‘ඔසයිරස් රේක්ස්’ යානයේ දිග මීටර් 3.35 කි. සූර්ය පැනල දෙකකින් යානයට අවශ්‍ය බලය ලැබේ. පසුගිය 24 වැනිදා මෙහෙයුම අවසන් කර, ‘ඔසයිරස් රේක්ස්’ Osiris-Rex ආපසු පෘථිවිය බලා ආවේ පෘථිවියේ නොවන දෙයක් ගැඹුරු විශ්වයේ සිට රැගෙනය. එය සැබැවින්ම අභ්‍යවකාශ ගවේෂණයේ වික්‍රමයකි.

පෘථිවිය අසලින් ගමන් කරන ග්‍රහක එසේත් නැතිනම් ඇස්ට්‍රොයිඩ ගැන පෘථිවි විද්‍යාඥයෝ නිතර විමසිල්ලෙන් පසුවෙති. හේතුව යෝධ ග්‍රහකවලින් පෘථිවියට අනතුරක් විය හැකි බැවිනි. පෘථිවිය අසලින් යන මෙම ග්‍රහක ‘නියර් අර්ත් ඇස්ට්‍රොයිඩ්’  Near-Earth Asteroid යනුවෙන් හැඳින්වෙයි. 1999  සැප්තැම්බර් 11 වැනිදා ‘ලින්කන් නියර් අර්ත් ඇස්ට්‍රොයිඩ් රීසර්ච් සෙන්ටර්’ Lincoln Near-Earth Asteroid Research (LINEAR) පර්යේෂණ ආයතනය, අලුත් ග්‍රහකයක් සොයා ගත්තේය. එය පෘථිවිය අසලින් යන ග්‍රහකයක් බව තහවුරු කර ගැනීමෙන් පසු 1999 RQ36 යන නමින් වර්ගීකරණය කෙරුණි. බ්‍රසීලයේ පුවර්ටෝ රීකෝ හි ‘ආර්සිබියෝ’ දුරේක්ෂයේ ආධාරයෙන් සහ ගැඹුර විශ්වය ගවේෂණය කරන ‘ගෝල්ඩ්ස්ටෝන් ඩීප් ස්පේස්’ රේඩාර් ආධාරයෙන්, RQ36 ග්‍රහකය, 1999 සැප්තැම්බර් 23 වැනිදා පෘථිවියට ළං ව ගමන් කරද්දී, අධ්‍යයනය කෙරුණි.

ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක සන්සදය එක් වී, ‘ඇස්ට්‍රොයිඩය නම් කරමු’ Name that Asteroid! යන වැඩසටහන හරහා RQ36 ග්‍රහකයට නමක් යෙදීම සිදුවිය. රට පුරා පාසල් සිසු දරු දැරියන් 8000 දෙනකු ග්‍රහකයට ඔවුන් කැමැති විදියේ නම් එවා තිබුණි. ඒ අතරින්, උතුරු කැරොලිනාවේ ප්‍රාථමික අංශයේ සිසුවකු වන මයිකල් පුසියෝ, ඒවා තිබුණු නම ග්‍රහලෝක සන්සදයේ අවධානයට ලක් විය. පුංචි මයිකල් පුසියෝ ඒවා තිබුණේ මිසර දේව පුරාණයේ (පැරැණි ඊජිප්තුව) සඳහන් කුරුල්ලෙකුගේ නමකි. ඒ, කුරුල්ලා ‘බෙන්නු’ Bennu ය. මිසර දේව පුරාණයේ රා නමැති හිරු දෙවියා හා සම්බන්ධ ‘බෙන්නු’ කොකෙකි. ග්‍රහකය ‘බෙන්නු’ යනුවෙන් නම් කෙරුණි.

මීටර් 500 ක් පළල ‘බෙන්නු’ ග්‍රහකය ගැන පෘථිවි විද්‍යාඥයන් තුළ ලොකු උනන්දුවක් ඇති විය. එය අතීතයේ අප සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී සිදුවුණු හැලහැප්පීම් සහ පිපිරීම්වලින් කැඩී වෙන්වුණු ග්‍රහක කැබැල්ලක් බව පැහැදිලි විය. කාබන්වලින් සමන්විත බෙන්නු පෘථිවියට වඩා පැරැණි ග්‍රහ වස්තුවකි. 2182 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ‘බෙන්නු’ගේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහාය. ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ හැපීමට නියමිතය. ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි අධ්‍යයනය කරමින්, ග්‍රහකයෙන් පෘථිවිය බේරා ගැනීමේ ක්‍රමයක් සෙවීමට ද අනාගතයේ නාසා විද්‍යාඥයන්ට සිදුවනු ඇතැයි පැවැසෙයි. ‘බෙන්නු’ ගවේෂණය වැදගත් බව නාසා විද්‍යාඥයන්ට අවබෝධ වූ බැවින්, ඔවුන් ඒ සඳහා රොබෝ ගවේෂණ යානයක් නිර්මාණය කළේය. ‘ලොක්හීඩ් මාටින්’ සමාගම සමඟ එක් වී ‘ඔසයිරස් රේක්ස්’ Osiris-Rex රොබෝ යානය නිර්මාණය එහි ප්‍රතිඵලයයි.

‘ඔසයිරස් රෙක්ස්’ OSIRIS-REx (Origins, Spectral Interpretation, Resource Identification, Security, Regolith Explorer) යානය, තවත් එක් නාසා ගවේෂණ යානයක් නොවෙයි. යානයේ අරමුණ, බෙන්නු වෙත ගොස්, බෙන්නු අධ්‍යයනය කර, අඩු තරමින් බෙන්නුගේ පස් සහ දූවිලි ග්‍රෑම් 10 ක් හෝ යළි පෘථිවියට රැගෙන ඒමය. සෞරග්‍රහ මණ්ඩලය බිහිවීම, එහි පරිණාමය, පෘථිවියේ ජලය ඇතිවීම, ආදිය සම්බන්ධයෙන් රහස් දැනගැනීමට එම පස් සහ දූවිලි සාම්පල උපකාරී වේවි යැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. වසර 7 ක මෙහෙයුම ඇරැඹුණු අතර, ‘ඔසයිරස් රෙක්ස්’ යානය පෘථිවි කක්ෂයට යැවීම සිදුවිය.

2016 සැප්තැම්බර් 8 වැනිදා ඇට්ලස් Atlas V 411 (AV-067) රොකට්ටුවේ ආධාරයෙන් කැනවරල් තුඩුවෙන් ‘ඔසයිරස් රෙක්ස්’ යානය, බෙන්නු ග්‍රහකය බලා පිටත්ව ගියේය. යානය, ග්‍රහකයට ළං වූයේ වසර දෙකකිනි. ඉන්පසු තවත් වසර දෙකක් දුර සිට ග්‍රහකය සිතියම්ගත කළේය. එම සිතියම්ගත කිරීම අවසානයේ, 2020 දී යානය ‘බෙන්නු’ ග්‍රහකයට ළං වූ අතර, එය ග්‍රහකයට සමාන වේගයකින් එය අසලින් ගමන් කිරීම ඇරැඹුවේය. යානයේ රොබෝ අතක් වැනි උපාංගයක් ඇති අතර, එම රොබෝ අත යොදා ගනිමින් ග්‍රහකයේ මතුපිට සූරා පස් ලබා ගැනීම කළේ ඉන්පසුවය. ලබා ගත් එම පස් සාම්පල යානයේ කුඩා කැප්සියුලක තැම්පත් කෙරුණි. එම වික්‍රමය සිදු වූයේ 2020 ඔක්තෝබර් 20 වැනිදාය. අධික වේගයෙන් විශ්වයේ ගමන් කරන ග්‍රහකයකට ළං වී, එම ග්‍රහකයට ගොඩබෑමක් සිදු නොකර, පස් සාම්පල ලබා ගත් පළමු අවස්ථාව මෙයයි. (ග්‍රහකයකට පළමුවෙන් ගවේෂණ යානයක් යවා පතිත කර, එහි පස් සාම්පල ලබාගෙන ආපසු පෘථිවියට රැගෙන ආවේ ජපාන අභ්‍යවකාශ ආයතනයේ ‘හයබූසා 2’ නමැති රොබෝ යානයයි.) පස් සහ දූවිලි සාම්පල ලබා ගැනීමේ මෙහෙයුම සම්පූර්ණ කිරීමෙන් පසු ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය යළි පෘථිවියට බලා ගමන් ඇරැඹුවේය. නාසා අයතනය මෙවැනි වික්‍රමයක් කළ පළමු අවස්ථාව මෙයයි.

‘ඔසයිරස් රෙක්ස්’ OSIRIS-REx යානය පෘථිවියට ළං වූයේ පසුගිය 24 වැනිදාය. පස් සහ දූවිලි සාම්පල අඩංගු කැප්සියුලය අභ්‍යවකාශයේ සිට පෘථිවියට මුදා හැරීමෙන් පසු ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය නව මෙහෙයුමක් ආරම්භ කළේය. ‘බෙන්නු’ ග්‍රහකයේ පස් සහ දූවිලි සාම්පල ඇතුළත් කුඩා කැප්සියුලය වෙඩි උණ්ඩයකටත් වඩා 15 ගුණයක වේගයකින්, පෘථිවි වායු ගෝලය හරහා වේගයෙන් පහළට ඇදී ආවේය. අධික තාපයෙන් දැවී එය ගිනිගනිද්දී, තාප ආරක්ෂක පද්ධතිය නිසා කැප්සියුලයට හානියක් සිදුවූයේ නැත. කැප්සියුලයේ අධික වේගය අඩාල වූයේ පැරෂූට් දිග හැරීමෙනි. ශ්‍රී ලංකාවේ වේලාවෙන්, පසුගිය 24 වැනිදා රාත්‍රී 08.25ට පමණ, කැප්සියුලය ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ තෝරාගත් ස්ථානයකට පතිත කෙරුණි. නාසා විද්‍යාඥයන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටිනු ඇති බව ද පැවැසෙයි. කැප්සියුලයේ ඇත්තේ ‘බෙන්නු’ ග්‍රහකයෙන් සූරා ගත් පස් සහ දූවිලි ග්‍රෑම් 250 ක් යැයි නාසා ආයතනය පැවැසීය. ‘බෙන්නු’ ග්‍රහකයේ රහස් දැන ගැනීමට එම ප්‍රමාණය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් යැයි නාසා විද්‍යාඥයෝ මෙහෙයුමේ සාර්ථකත්වය ගැන ආඩම්බර වෙමින් පැවැසූහ.

කැප්සියුලය පෘථිවියට මුදා හැරීමෙන් පසු, ඇමෙරිකන් ඩොලර් මිලියන 800 ක් වැය කරමින් නිපදවූ ‘ඔසයිරස් රෙක්ස්’ යානය තවත් මෙහෙයුමක් සඳහා අභ්‍යවකාශයේ ඈතට යැවීමට නාසා විද්‍යාඥයන් කටයුතු කළේය. ඒ අනුව, ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘ඇපෝසිස්’ නමැති ග්‍රහකය නිරීක්ෂණයට ගියේය. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, ‘ඇපෝසිස්’ ග්‍රහකය නිරීක්ෂණය කරනු ඇත්තේ 2029 වසරේදීය. ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් රොබෝ යානයක් එක් ගවේෂණ මෙහෙයුමක් අවසන් කර, රැගෙන ආ පස් සහ දූවිලි සාම්පල පෘථිවියට බාර දී, තවත් මෙහෙයුමකට ගිය පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS