පැරණිම පිරමීඩය හැදුවේ මිනිස්සු නෙවේ



පිරමීඩ කී සැණින් සිහියට නැගෙන්නේ, ලෝකයේ පැරැණි පුදුම හතටත්, නූතන පුදුම හතටත් අයත් ඊජිප්තුවේ, ගීසා නිම්නයේ ඉදි කර ඇති මහා පිරමිඩය ඇතුළු පිරමීඩ ත්‍රිත්වයයි. ඉපැරණි පුදුම හතට අයත් වුවත්, ගීසා නිම්නයේ ඇති මෙම පිරමීඩ ලොව පැරණිතම පිරමීඩ නොවෙයි. එම පිරමීඩවලටත් වඩා පැරණි පිරමීඩයක් ඊජිප්තුවෙන්ම හමුවී ඇත. ඒ, ජෝජර් නමැති පඩි පිරමිඩයයි. ලොව පැරණිතම පිරමීඩය ලෙස ගිනස් ලෝක වාර්තා අතර ඇත්තේ ජෝජර් පඩි පිරමිඩයයි. කාල නිර්ණය අනුව මෙම පඩි පිරමීඩය ඉදි කර ඇත්තේ, ක්‍රි.පූ. 2,630 දීය. 

පිරමීඩ හැඩැති ගොඩනැගිලි ඊජිප්තුවේ පමණක් නොව, ලොව නන්දෙසින් දකින්නට ලැබේ. දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ මෙවැනි ව්‍යුහයන්ගේ නටබුන් දකින්න ලැබේ. ජපානයට ඔබ්බෙන් මුහුදු පතුලේ ද පිරමීඩයක නටබුන් ඇත. ජෝජර් පඩි පිරමිඩයටත් වඩා පැරණි පිරමීඩයක් ද ඒ අතර වෙයි. එම පිරමීඩයේ නටබුන් හමුවී ඇත්තේ, ඉන්දුනීසියාවේ ජාවා දූපතේය. නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉන්දුනීසියාවේ ඇති මෙම පිරමීඩය මනුෂ්‍යයන් විසින් ඉදි කරනු ලැබූවක් නොවන බවය. 

 ජාවා දුපතේ කඳු ගැටයක් ලෙස දකින්න ලැබෙන මෙම පිරමීඩය හැඳින්වෙන්නේ ‘ගුනුන් රුවන්ග්’ යන නමිනි. සොයා ගත් දා පටන් ගුනුන් රුවන්ග් පිරමීඩය ඉදි කළේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් විවිධ අදහස් පළ විය. එම අදහස් මතභේදාත්මකය. වසර ගණනක් තිස්සේ ඉන්දුනීසියා විද්‍යා ඇකඩමියට සම්බන්ධ පුරාවිද්‍යාඥ ඩැනී හිල්මන් නටවිජාජා සහ පර්යේෂණ කණ්ඩායමක් ගුනුන් රුවන්ග් නටබුන් ඇති භූමි ප්‍රදේශයේ පර්යේෂණ ගණනාවක් සිදු කළ අතර, එම පර්යේෂණ වාර්තාව පසුගිය දිනෙක එළිදැක්විණි. එම වාර්තාවේ සඳහන් වන අන්දමට, පුරාවිද්‍යාඥ ඩැනී හිල්මන් පැහැදිලි කර ඇත්තේ, ගුනුන් රුවන්ග් පිරමීඩය මනුෂ්‍යයන් විසින් ඉදි කරන ලද්දක් නොවන බවය. ඔහු එසේ කියන්නේ ඔහු සහ කණ්ඩායම සොයා ගත් සාක්ෂි පාදක කර ගනිමිනි.

පුරාවිද්‍යාඥ ඩැනී හිල්මන් ලොව පිළිගත් මහාචාර්යවරයෙකි. එහෙයින්, ඔහු ඉදිරිපත් කරන සාක්ෂි පහසුවෙන් බැහැර කර නොහැකිය. ගුනුන් රුවන්ග් පිරමීඩයේ නටබුන් ඇත්තේ ඉන්දුනීසියාවයට අයත් බටහිර ජාවා දූපතේ කාර්යාමුක්ති නමැති ගම්මානයට ඔබ්බෙන් ඉහළ කඳු ගැටයකය. මේ මුළු කඳු ගැටයම එක් යෝධ පිරමීඩයකි. වසර ගණනක් තිස්සේ මෙම ස්ථානය හුදෙක්ම කඳු ගැටයකි. ගම් වැසියන්ට මෙම ස්ථානය, පූජනීය ස්ථානයකි. බොහෝ දෙනකු කඳු ගැටයේ තැනින් තැන බිම ගොඩගැසී ඇති ගල්කනු භාවනායෝගීව සිටීමට නිසංසල තැනක් විය. 

1914 වසරේ දී පෘතුගීසි ගවේෂක කණ්ඩායමක්, මේ ගල් කනු පරීක්ෂා කළ අතර, ඔවුන්ට අවබෝධ වූයේ ඒවා ස්වාභාවිකව නිර්මාණය වූවක් නොවන බවය. ඒවා ඉපැරණි දැවැන්ත ඉදි කිරීමකට අයත් නෂ්ඨාවශේෂ යැයි ඔවුන්ට වැටහුණි. සියවසකට පමණ පසු, 2013 වසරේදී, ඉන්දුනීසියා රජයේ අනුග්‍රහයෙන්, මෙම භූමියේ ගවේෂණ සිදුවිය. කඳු ගැටය කැණීම්වලට ලක් කෙරුණි. ඒ සඳහා බැකෝ යන්ත්‍ර සහ එක්ස්කැවේෂන් යන්ත්‍ර යොදා ගැනුණි. ඒ කඳු ගැටයේ පස් සහ මඩ තට්ටු යට යමක් සැඟවී ඇතිදැයි සොයමිනි. 

ඔවුන්ට අනාවරණය කර ගැනීමට හැකිවූයේ කඳු ගැටය යෝධ පිරමීඩවක් බවත්, ගුනුන් රුවන්ග් නමැති මෙම පිරමීඩය ලොව පැරණිතම පඩි පිරමීඩය බවත්ය. පඩි පිරමීඩයක් යනු, පඩි ආකාරයකට මුහුණත් නිර්මාණය කරන ලද පිරමීඩවලටය. භූ විද්‍යාඥයන්ට අනුව, අවුරුදු 20,000 කට පෙර අතීයේ, අද ගුනුන් රුවන්ග් පිරමීඩයේ නටබුන් ඇති ජාවා දූපත සහ ඉන්දුනීසියාවට අයත් සෙසු දූපත් ද සුන්ඩාලන්තය නමැති උප මහද්වීපය සමඟ සම්බන්ධ වී තිබුණේය. ගුනුන් රුවන්ග් පිරමීඩය පිහිටි භූමිය ශිෂ්ටාචාරයක කේන්ද්‍රය විය හැකි යැයි ද අදහසක් ඒ අනුව පළ විය. 

එම ශිෂ්ටාචාරය ලොවෙන් අතුරුදන් වුණු බවත්, එසේ වූයේ ක්‍රි.පූ. 10,000 කට පෙර බවත්ය. ක්‍රි.පූ. 10,000 කට පෙර, අයිස් යුගය අවසන් වෙද්දී, ධ්‍රැව ප්‍රදේශවල අයිස් දිය වෙද්දී, සුන්ඩාලන්තය ජලයෙන් යටවී යන්න ඇති බවත් භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම් සිදුවෙද්දී භූමිය වෙනස් වී, අද අපට දකින්න ලැබෙන ආකාරයේ කුඩා කුඩා දූපත් නිර්මාණය වෙන්නට ඇති බවත් භූ විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීමය. “දියුණු මානව ශිෂ්ටාචාර, පෙදරේරු ශිල්පය දියුණු කළේ, කෘෂිකර්මාන්තයේ දියුණුවෙන් තවත් ඔබ්බට යමින්. මෙය සිදුවුණේ වසර 11,000 කට පමණ පෙරයි. සාම්ප්‍රදායික විශ්වාසය එයයි. 

ඊට පෙර, මනුෂ්‍යයන්ට පෙදරේරු ශිල්පය පිළිඳ දැනුමක් තිබුණේ නැහැ. ඒ බව පුරාවිද්‍යා සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. එසේ නම්, ගුනුන් රුවන්ග් පිරමීඩය ඉදි කළේ කවුරුද? මනුෂ්‍යයන් එය ඉදි කළේ නැතිනම් එසේ කළේ කවුරුන්ද? 

ගුනුන් රුවන්ග් පිරමීඩය හා සමාන තවත් පුරාණ ඉදිකිරීමක් තිබෙනවා. ඒ තුර්කියේ. එය හැඳින්වෙන්නේ ගොබෙක්ලිටාපා යනුවෙන්. ගොබෙක්ලිටාපා නටබුන් ද සාම්ප්‍රදායිකව අප දන්නා කරුණු කාරණා අභියෝගයට ලක් කර තිබෙනවා.” යැයි නවතම සොයා ගැනීම් අනුව, ගුනුන් රුවන්ග් පිරමීඩය සම්බන්ධයෙන්, ඩැනී හිල්මන්, මෙසේ පැහැදිලි කරයි. 

‘ගොබෙක්ලිටාපා’ නටබුන් යනු තුර්කියට අයත්, ඇනටෝලියා කඳුකර ප්‍රදේශයේ දකින්න ලැබෙන නටබුන්ය. රවුම් - ඕලාකාර සහ සෘජුකෝණාශ්‍රාකාර ගල්කනු රැසක් මෙහි ඇත. මෙම ස්ථානය අද යුනෙස්කෝ ලෝක උරුමයකි. මැටි නිර්මාණ කීපයක් ද මෙම නටබුන් ආශ්‍රිතව සිදු කළ කැණීම්වලින් සොයා ගෙන තිබේ. පුදුමය නම්, එම මැටි නිර්මාණය ද, නව ශිලා යුගයේ, කුඹල් කර්මාන්තය ආරම්භ වීමටත් පෙර නිර්මාණය කළ ඒවා යැයි විද්‍යාඥයන් විසින් තහවුරු කරගනු ලැබීමය. 

විද්‍යාඥයන්ට තවමත් හරිහැටි හඳුනා ගැනීමට නොහැකි වූ, අතීතයේ මෙසපොටේමියාවේ වාසය කළ, ශිෂ්ටාචාරයකට අයත් වැසියන් විසින්, වසර 11,500 කට පෙර මේවා නිර්මාණය කරන්නට ඇතැයි සැක කෙරේ. පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්වතුන්ට අනුව, ගුනුන් රුවන්ග් පිරමීඩය සහ ලෝකයේ අනෙක් කෙළවරේ ඇති තුර්කියේ ‘ගොබෙක්ලිටාපා’ නටබුන් ද පිටසක්වළ ජීවීන් විසින් ඔවුන්ගේ තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කළ ගොඩනැගිලිවල ශේෂයන්ය. 

මහාචාර්ය ඩැනී හිල්මන්ගේ අධ්‍යයන වාර්තා ප්‍රසිද්ධියට පත් වෙද්දී, කාඩිෆ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්ලින්ට් ඩිබල්, ‘නේචර්’ විද්‍යා සඟරාවට ගුනුන් රුවන්ග් පිරමීඩය ගැන අදහස් දක්වමින් පැහැදිලි කර ඇත්තේ, ගුනුන් රුවන්ග් පිරමීඩය සහිත භූමියේ ඇති ගල් කුනු, නියමිත හැඩයෙන් කපා ගැනීම, ඒවා එහි ගෙන යෑම කළ හැකි විදියේ තාක්ෂණයක් සුන්ඩාලන්තය උප මහද්වීපයේ සිටි පැරැන්නන්ට නොතිබුණු බවය.

“පිටසක්වළ ජීවීන්, ගුනුන් රුවන්ග් පිරමීඩය ඉදි කළා යැයි මා කියන්නේ නැහැ. මනුෂ්‍ය අතින් මෙම පිරමීඩය ඉදි කළා කියන්න කිසිදු සාක්ෂියක් අපට මෙතෙක් හමුවෙලා නැහැ. සමහර විට ධ්‍රැව ප්‍රදේශවල අයිස් දියවී, සුන්ඩාලන්තය ජලයෙන් යටවී යද්දී, භූමිකම්පා සහ ගිනිකඳු පිපිරීම් සිදුවෙද්දී ඒ සාක්ෂි විනාශ වෙන්නට ඇති. කොහොම නමුත්, ගුනුන් රුවන්ග් ඉදි කළේ පිටසක්වළ ජීවින් යැයි කීමටත් සාක්ෂි හමුවෙලා නැහැ. සමහර විට අප නොදන්නා සත්‍යයක් මෙම පිරමීඩය සේම පස් යට සැඟවී තිබෙනවා වෙන්න පුළුවන්. මා ආරාධනා කරනවා, ලොව පුරා සිටින පර්යේෂකයන්ට. විද්වතුන්ට. ජාවා දූපතට එන්න. මේ පැරැණිතම පිරමීඩයේ රහස් අපට සොයා ගන්න උදවු කරන්න” යැයි මහාචාර්ය ඩැනී හිල්මන් ඉල්ලීමක් ද කර ඇත. 


RECOMMEND POSTS