ප්‍රංශයෙන් හමුවුණු ඩයිනසෝර් අස්ථිය



යෝධ ඩයිනසෝරයකුගේ යෝධ අස්ථියක් සොයා ගැනීමට ඩයිසසෝර දඩයක්කරුවන් එසේත් නැතිනම් පොසිල විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ.

කැණීම් කරද්දී, විද්‍යාඥයන්ට හමුවුණේ කලවා අස්ථියකි. එය අඩි 6.5 කි. මේ අස්ථිය සොයා ගැනුණේ ප්‍රංශයේ චැරෙන්තේ පළාතේ කළ කැණීමකදීය. එය වසර මිලියන 140 ක් පැරැණි බවත්, එය දැවැන්ත සෝරපොඞ් ඩයිනසෝරයකුගේ බවත් අනාවරණය කරගෙන ඇත. එපමණක් නොවේ, ප්‍රංශයෙන් හමුවුණු විශාලතම ඩයිනසෝර් අස්ථිය මෙය යැයි පැවැසෙයි.

ඩිප්ලෝඩොකස්, බ්‍රැකියෝසෝරස්, බ්‍රොන්ටෝසෝරස් ආදී දැවැන්ත ශාක භක්ෂයකයන් සෝරපොඞ් ඩයිනසෝරයන් අතරට අයත් වෙයි. මොවුන් පාද හතරෙන් ගමන් කළ ඩයිනසෝරයන්ය. සෝරපොඞ් ඩයිනසෝරයන් පළමුවෙන් ලොව පහළ වෙන්න ඇත්තේ ත්‍රියාසික අවදිය අවසානයේ බව පැවැසෙයි. කෙසේ නමුත් හමුවුණු අස්ථිය අයත් ඩයිනසෝරයා ජීවත් වන්න ඇතැයි පැවැසෙන්නේ ජුරාසික අවදියේදීය.

ප්‍රංශයේ චැරෙන්තේ පළාත වඩාත් ප්‍රකට බ්‍රැන්ඩි නිෂ්පාදනයට වුවත් මෙම පළාත පොසිල ආකරයක් ලෙස ද සැලකෙයි. 2010 වසරේ සිට මේ දක්වා පොසිල අස්ථි 7,500 ක් මෙම පළාතෙන් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත් වී ඇත. හමුවුණු මෙම අස්ථි එකිනෙකට වෙනස් ඩයිනසෝර් විශේෂ 45ක ගේ යැයි ද පැවැසෙයි. මෙම කලවා අස්ථිය ප්‍රංශයෙන් හමුවුණු විශාලතම ඩයිනසෝර් අස්ථිය වෙනවා පමණක් නොවෙයි, මෙම පළාතෙන් මෙතෙක් හමුවුණු විශාලතම කලවා අස්ථිය ද වෙයි.

මෙම විශාලතම අස්ථිය සොයා ගැනීමට හැකිවූයේ මැටි තට්ටු අතරේ සිරවී තිබියදීය. ඊට දායක වී ඇත්තේ ප්‍රංශ ජාතික කෞතුකාගාරයට සම්බන්ධ වී පොසිල විද්‍යාඥයන්ගේ සහායට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු කණ්ඩායමකටය. හමුවුණු කලවා අස්ථිය කිලෝ ග්‍රෑම් 500 ක් බරින් යුක්ත වෙයි.

එය සාමාන්‍යයෙන් අශ්වයකුට වඩා බරය. කලවා අස්ථිව අසල තිබී උකුලු අස්ථියක් ද මතු කර ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබුණු බව කෞතුකාගාර ප්‍රධානී ජෝන් ෆ්‍රැන්සුවා මාධ්‍ය හමුවේ පැහැදිලි කර දෙයි. උකුලු අස්ථියට වඩා හමුවුණු කලවා අස්ථිය සුවිශේෂී යැයි ඔහු පෙන්වා දී තිබේ.

අප කිසිවකු සැබෑවට ඩයිනසෝරයන් දැක නැත. ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී මිනිසා ලොව පහළ වී සිටියේ නැත. ඩයිනසෝරයන් ජීවත් වූයේ යැයි අප දන්නේ ඔවුන් ඉතිරි කර ගිය ඔවුන්ගේ පොසිල අස්ථි සහ පා සටහන් ආදියෙනි. ජීවීන් මිය යෑමෙන් පසු, සිරුරු කුණු වී පසට එක්වෙයි. සිරුරේ මාංශ ක්ෂය වී ගියත්, අස්ථි පොසිලකරණයට ලක් වී සුරැකිව පවතී.

පොසිලයක් යන්න නිවැරදිව හඳුන්වා දෙන ලැබුවේ විද්‍යාඥ චාල්ස් ලයල් විසිනි. අතීතයේ ජීවත් වුණු ඕනෑම ජීවියකු (ශාක, සත්ව) හෝ ජීවියකුගේ කොටසක් හෝ ස්වභාවික ක්‍රියාවලීන් මගින් විවිධ පාංශු ස්ථරවල සිරවී, පසුකාලීනව සොයා ගැනේ. ලයල්ගේ අර්ථ නිරූපණයට අනුව මෙසේ සොයා ගැනෙන්නේ පොසිලය.

මෙම සටහනට අදාල රූපසටහන්වල දැක්වෙන පරිදි ඩයිනසෝරයකු ගංගාවකට වැටී මියයයි. එම සත්වයාගේ මාංශ විලෝපිනයන් සහ බැක්ටීරියාවන් ආහාරයට ගනී. උගේ සියලුම මාංශ ඉවත් වී අස්ථි පමණක් ඉතිරිවෙයි.

කල්යද්දී අස්ථි පවා විනාශ වී පසට එක්වෙයි. එහෙත් ඊට පෙර, පරිසරයේ සහ භූමියේ සිදුවන වෙනස්වීස් සහ පෙරළි මුල්කොට ගනිමින් ඩයිනසෝරයාගේ අස්ථි පෘථිවියේ පාෂාණ ස්ථරවල සිරවෙයි. පොසිලකරණයට ලක් වන මේ අස්ථි වසර මිලියන ගණනාවකට පසු පොසිල විද්‍යාඥයන්ට කැණීම්වලදී හමුවෙයි.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS